Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියානු හමුදාව යුක්රේන අගනුවරට ආසන්න වෙයි




යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින රුසියානු හමුදාව මේවනවිට කිව් අගනුවරට ආසන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව රුසියානු හමුදාව මේවනවිට කිව් අගනුවරට කිලෝ මීටර් 25 ක් පමණ දුරින් ස්ථානගතව සිටින බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් විදෙස් වාර්තා පවසන්නේ රුසියානු හමුදා යුක්රේන අගනුවර වටකර ඇති බවයි. 

මෙවැනි පසුබිමක් මත කිව් අගනුවර ඉලක්ක කර රුසියානු හමුදාව විසින් අද දිනයේත්     මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එවැනි ප්‍රහාරයකින් කිව් අගනුවර පිහිටි හමුදා ගුවන් තොටුපළක් විනාශ වී ඇති අතර එහි තිබූ ඉන්ධන ගබඩාවක් ද සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබුණා. 

මේ අතර යුක්රේනයේ මෙලිටොපෝල් නගරයේ නගරාධිපතිවරයා රුසියානු හමුදාව මගින් පැහැර ගෙන තිබෙනවා. ඔහුව පැහැර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පට විදෙස් මාධ්‍ය අද නිකුත් කර තිබුණා. 

රුසියානු හමුදාවේ ගුවන් ප්‍රහාර හමුවේ යුක්රේනයේ නගර රැසක අද දිනයේත් සයිරන් නලා හඬ ඇසුනු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එමෙන්ම මරිපෝල්, ලීව් හා සුමී යන නගර ඉලක්ක කර රුසියානු හමුදාව අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඉන් වැඩිම පීඩාවට පත්ව සිටින්නේ මරිපෝල් නගරයේ සිරවී සිටින වැසියන්. 

මරිපෝල් නගරයට මේදිනවල අධික ශීත කාලගුණයක් පවතිනවා. එමෙන්ම නගරයේ විදුලිබල සැපයුම සම්පූර්ණයෙන් බිඳ වැටී අතර ආහාර මෙන්ම පානීය ජල පහසුකම් හෝ නොමැති බවයි වාර්තා වන්නේ.