Wednesday, May 8, 2024

General line - 0115112241

IMF යාම ගැන කැබිනට් මණ්ඩලයේ දීර්ඝ සාකච්ඡාවක්




අඛණ්ඩව විදුලිය සහ ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. ගෑස් බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුවලට ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ ඩොලර් අර්බුදය බැවින් ඊට විසදුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පිළිබඳව ද ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අදහස් හුවමාරුවී තිබෙනවා. එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡා කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳවයි. 

මේ වන විට ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සහ ඒවා ප්‍රතිව්‍යුහගත කළ හැකි හැකියාව පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවී ඇති බවයි වාර්තා වන්නේ. රුපියල අවප්‍රමාණයවීමත් සමඟ එළඹෙන අවුරුදු සමයේදී භාණ්ඩ මිල ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතිනවා. එම තත්ත්වය කළමනාකරණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවුණා. 

ඒ අනුව සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ජනතාවට ලබාදීම පිළිබඳව ද එහිදී අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ. 
මේ අතර මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා ඊයේ දිනයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී ඇති බවත් අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවත් වාර්තා වනවා.