Monday, April 29, 2024

General line - 0115112241

ඉන්ධන ප්‍රවාහනය අර්බුධයක




ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඛණිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වුණා. ඒ, අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරන ලෙස ඉල්ලමින්. මෙරට ඉන්ධන ප්‍රවාහනයෙන් සියයට 80 ක් නියෝජනය කරන්නේ ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයයි. 

මේ හේතුවෙන් තම සංගමය ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීම රට තුළ පවතින ඉන්ධන අර්බුදය තවත් උග්‍රවීමට හේතුවක් වනු ඇති බවයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා පැවසුවේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඉල්ලා ඇති පරිදි ප්‍රවාහන ගාස්තු වැඩිකිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහනවලට අමතරව බැරල්වලට සහ බූලිවලට ඩීසල් නිකුත් කිරීම නතර කරන ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දී ඇතැයි ඊයේ වාර්තා පළ වුණා. 

කෙසේවෙතත් ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ එවැනි නියෝගයක් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීමට තීරණය කර නොමැති බවයි.