Monday, April 29, 2024

General line - 0115112241

යුක්රේනයේදී රුසියානු ප්‍රහාරයකින් අමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු මියයයි




රුසියානු - යුක්රේන අර්බුදයේ නවතම වින්දිතයින් බවට මේවනවිට පත්ව සිටින්නේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්. යුදමය තත්ත්වය වාර්තා කිරීම සඳහා යුක්රේනයට ගොස් සිටින මාධ්‍යවේදීන් රැසක් රුසියානු ප්‍රහාර හමුවේ මේවනවිට ජීවිත අවදානමට මුහුණ දී සිටිනවා. 

එවන් පසුබිමකදී රුසියානු ප්‍රහාරයකට ලක්ව ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදයෙකු සහ මාධ්‍යවේදිනියක යුක්රේනයේ කිව් අගනුවරදී මියගොස් තිබෙනවා. 

එලෙස මියගොස් ඇත්තේ ප්‍රකට අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වන ෆොක්ස් මාධ්‍ය ආයතනයේ සේවය කළ මාධ්‍යවේදියෙක් සහ මාධ්‍යවේදිනියක්. මියගිය මාධ්‍යවේදියා ෆොක්ස් මාධ්‍ය ආයතනයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කැමරාශිල්පියෙකු වනවා. මියගිය මාධ්‍යවේදිනිය 24 හැවිරිදි ප්‍රවෘත්ති වාර්තාකාරිණියක්. 

ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථය කිව් අගනුවරදී රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකට ලක්වීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ෆොක්ස් මාධ්‍ය ආයතනයේ තවත් මාධ්‍යවේදියෙකු මේවනවිට රෝහල්ගත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පැවසුවා.

මීට පෙර බි්‍රතාන්‍යයේ ස්කයි මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසකට ද යුක්රේනයේ කිව් අගනුවරදී රුසියානු තුවක්කුකරුවන් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වුණා. යුක්රේනයේ, ඉර්පින් ප්‍රදේශයට එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් ද ඉකුත් දා තවත් අමෙරිකානු මාධ්‍යවේදියෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.