Monday, April 29, 2024

General line - 0115112241

ජනපති පස්වන වරට ජාතිය ඇමතීම අද රාත්‍රියේ




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ. 

රාත්‍රී 08 යි 30 ට පමණ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන පස්වන අවස්ථාව මෙයයි. 2020 මාර්තු 17, 2020 නොවැම්බර් 18, 2021 ජුනි 25, 2021 අගෝස්තු 20 යන දිනවල මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා තිබෙනවා. 

ජනාධිපතිවරයා ජාතිය අමතා අද සිදුකරන විශේෂ ප්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ද ප්‍රචාරය කිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුව සහ මාළිගාවත්ත දුම්රිය අංගනය අද පෙරවරුවේ නිරීක්ෂණය කළා. 

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සියලුම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් සැකසිය යුතු බවයි. බඳවා ගැනීමේ පටිපාටිවල ඇති ගැටලු හේතුවෙන් උසස්වීම්වල පවතින ප්‍රශ්ණ කඩිනමින් නිරාකරණය කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදුන්නා. 

ආයතනයන්හි දෛනික ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පවතින ගැටලු සහ අවශ්‍යතා පිළිබඳ සේවකයින්ගෙන් තොරතුරු විමසා සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.