Thursday, May 16, 2024

General line - 0115112241

රුසියාවට එරෙහි සටනට අමෙරිකානු අවි යුක්‍රේනයට




රුසියානු ආක්‍රමණයට එරෙහිව යුධ වදින යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් බිලියනයක් වටින අවි ආයුධ ලබා දී තිබෙනවා. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුධ අපරාධකරුවකු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කර ඇති පසුබිමකයි. ඔහු එවැනි ප්‍රකාශයක් කළේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබ හතරවන සතියට පැමිනීමෙන් පසුව පළමු වරටයි. 

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල කළ ප්‍රබල වාග් ප්‍රහාරය රුසියාව විසින් දැඩිව විවේචනය කරනු ලැබ තිබෙනවා. රුසියාව පවසන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිලිගත නොහැකි සහ සමාව දිය නොහැකි ප්‍රකාශයක් බවයි. 

මේ අතර රුසියාව විසින් සිවිල් වැසියන් රැදී සිටින ස්ථාන ඉලක්ක කරගෙනද ප්‍රහාර එල්ල කරමින් ඇතැයි යුක්‍රේනය අද යළි චෝදනා කළා. ඒ, රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බවට ජාත්‍යන්තර අධිකරණය ඊයේ නියෝග කර ඇති පසුබිමකයි. 

රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු කළැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ගොනු කර තිබූනා. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි ජාත්‍යන්තර අධිකරණය මෙලෙස රුසියාවට නියෝග කර ඇත්තේ. 

විනිසුරුවරු 13 දෙනක් මෙම තීරණයට එකඟ වී ඇති අතර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපති රුසියානු ජාතිකයෙක් සහ චීන ජාතික විනිසුරුවරියක් මෙම තීරණයට විරුද්ධ වී තිබෙනවා.

ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු පිළිපැදීමට රුසියාව බැඳී සිටියත්, මෙම අවස්ථාවේදී රුසියාව නඩු තීන්දුවට අවනත වේදැයි තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ජාත්‍යන්තර අධිකරණයට නියෝගය ක්‍රියාත්මක කිරීමට රුසියාවට බල කළ හැකි ක්‍රමයක් නොමැති බවද ඔවුන් පෙන්වා දුන්නා.