Saturday, May 18, 2024

General line - 0115112241

රන්ජන් අධිකරණය හමුවේ වරද පිළිගනියි




අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුවේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව දැනට සිර දඬුවම් විඳින හිටපු අමාත්‍ය රංජන් රාමනායක අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම පැමිණිල්ල අද බුවනෙක අලුවිහාරේ, එල්. ටී.බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් මෙම දැනුම්දීම සිදුකළා.

මෙම චෝදනා වලට තමන් "නිවැරදිකරු" බව සඳහන් කරමින් රන්ජන් රාමනායක මහතා විසින් මීට පෙර අධිකරණය හමුවේ උත්තරවාද ඉදිරිපත් කර තිබුණා.

එහෙත් මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා වලට තමන් නිවැරදිකරු යැයි තම සේවාදායකයා මීට පෙර දුන් උත්තර වාදය ඉවත් කරගෙන "වැරදිකරු" යන උත්තර වාදය ඉදිරිපත් කිරීමට සූදානම් බව සඳහන් කළා.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවට කැඳවා ඒ පිළිබඳව විමසීමක් සිදු කරනු ලැබුවා.

එහිදී රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අදාළ චෝදනාවලට "නිවැරදිකරු" යැයි තමන් විසින් මීට පෙර ඉදිරිපත් කළ උත්තර වාදය ඉවත් කරගෙන "වැරදිකරු" යන උත්තර වාදය මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරන බවයි.