Tuesday, May 7, 2024

General line - 0115112241

ජනපති ධූරය ගැන රුසියාව සහ අමෙරිකාව අතර මතගැටුම්




රුසියාවේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් අමෙරිකාව සහ රුසියාව අතර මේවනවිට මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය පෝලන්ත සංචාරය අතරතුරදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින්. පෝලන්තයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපතිවරයා වෝසෝ නුවරදී ප්‍රකාශ කර ඇත්තේ ව්ලැදිමීර් පුටින්ට තවදුරටත් රුසියානු ජනාධිපතිධූරයේ රැඳී සිටිය නොහැකි බවයි. 

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ධවල මන්දිරය ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා තිබීම විශේෂත්වයක්. ඒ අනුව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණේ අදාළ ප්‍රකාශයෙන් ජනාධිපති ජෝ බයිඩ්න් අදහස් කළේ රුසියානු පාලන තන්ත්‍රයේ වෙනසක් පිළිබඳව නොවන බවයි. බලය තිබූ පමණින් අසල්වැසි රටවලට හෝ කලාපයට බලපෑම් එල්ල කිරීමට රුසියානු ජනාධිපතිවරයාට නොහැකි බව පමණක් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අදහස් වූ බවයි ධවල මන්දිරය පවසන්නේ. 

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සඳහා රුසියාවේ ජනාධිපති මන්දිරය ද ක්ෂණික ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ක්‍රෙම්ලිනය පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා කවුරුන්ද යන්න අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කළ යුතු දෙයක් නොවන බවයි. එය රුසියානු ජනතාවගේ තේරීමක් හා තීරණයක් පමණක් බවයි ක්‍රෙම්ලිනය අවධාරණය කරන්නේ. කෙසේවෙතත් යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සිය ඉලක්කය නොවන බව අමෙරිකාව මීට පෙර පවසා තිබුණා.