Monday, April 29, 2024

General line - 0115112241

පාකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ




පකිස්තානයේ දේශපාලන කරළියෙන් අද තීරණාත්මක සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඒ, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද දහවල් නියෝජ්‍ය කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. 

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ එම විශ්වාසභංග යෝජනාව ව්‍යවස්ථාවට පටහැනි බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා තිබෙනවා. කෙසේවෙතත් පකිස්තානයේ විපක්ෂය පවසන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය අවලංගු කිරීම නීතිවිරෝධී බවයි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රට ව්‍යවස්ථාමය අර්බුදයකට ඇද දැමූ බවට ද විපක්ෂය චෝදනා කරනවා. 

කෙසේවෙතත් තමන්ට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප වීම හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාමා්‍ය ඉම්රාන් ඛාන් පකිස්තානයේ ජනාධිපති අරීෆ් අල්විගෙන් ඉල්ලීමක් කළා. 

එසේම ඉක්මන් මැතිවරණයක් ද පවත්වන ලෙසයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා එරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ. පකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් පකිස්තාන ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එමෙන්ම ජනාධිපතිවරයා විසින් ඉක්මන් මැතිවරණයක් ද කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.