Thursday, May 2, 2024

General line - 0115112241

ජල පෝෂක ප්‍රදේශ ඇතුළුව රටපුරා මහ වැසි

රංජිත් රාජපක්ෂ - හැටන් 




රටපුරා අද පස්වරුවේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රිතිකා ජයකොඩි පැවසුවේ.

මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ඉකුත් පැය විසිහතර තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ පාදුක්ක ප්‍රදේශයටයි. එහි අගය මිලිමීටර් 157 ක් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඇදහැලෙන අධික වැසි හේතුවෙන් දැදුරුඔය ඇතුළු ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, ඒ පිළිබද කරුණු දැක්වූ එම දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන.

වැසි තත්ත්වයේ වැඩිවිමක් සිදුවුවහොත් ජලාශ පිළිබද අවධානයෙන් සිටින ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.  

මේ අතර මාවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. මස්කෙළිය, නල්ලතන්නිය, අප්කට් සහ සාමිමලේ යන ප්‍රදේශවලට එලෙස වර්ෂාව ඇදහැලෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර කාසල්රී ජල පෝෂක ප්‍රදේශ වන හැටන්, නෝර්වුඩ් සහ බගවන්තලාව යන ප්‍රදේශවලට ද ඊයේ පස්වරුවේ සිට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. පවතින වර්ෂාපතනයත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර ද යළිත් සක්‍රීය වී ඇති බවයි හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පැවසුවේ. 

මේ අතර නෙළුව ප්‍රදේශයේදී ජල පහරකට හසුවී වයස අවුරුදු 7 ක කුඩා දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඉන්ගල්දොල ආසන්නයේ එම දරුවා තබා ජංගම දුරකතනය දරුවාගේ අත තැබූ මව මාර්ගයේ අනෙක් පස සිටි තවත් දරුවන් තිදෙනෙකු එම ස්ථානයට රැගෙන ඒමට පිටත්ව ගොස් ඇති බවයි පොලිසීය පැවසුවේ.

එම අවස්ථාවේ ඉන්ගල්දොලට වැටීමෙන් දරුවා ගසාගෙන යන්නට ඇති බවට පොලීසිය සැක කෙරෙනවා.  ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව සිදුකල මෙහෙයුමකදී දරුවාගේ මෘත ශරීරය වෙනත් ස්ථානයක රැදී තිබියදී සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇඹලෙගෙදර ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙක්.