Thursday, May 16, 2024

General line - 0115112241

ආර්ථික සහය සාදරයෙන් පිළිගන්නා බව ජනපති ජල සමුළුවේදී කියයි




පවතින තීරණාත්මක මොහොතේ රටේ ආර්ථික ප්‍රගතියට මෙන්ම තිරසර ප්‍රයත්න උදෙසා විදෙස් රටවල් ලබාදෙන සහාය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

රටවල් 48 ක සහභාගිත්වයෙන් ජාපානයේදී අද ආරම්භ වූ 04 වන ආසියා පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එම සමුළුවට රාජ්‍ය නායකයින් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ද සහභාගී වනවා. 

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිවයුහගත කිරීම් ශ්‍රී ලංකාවට මේ මොහොතේ වඩාත් වැදගත් බවයි. කොවිඩ් වසංගය හේතුවෙන් පැවති මූල්‍ය අර්බුදයේ ප්‍රතිපළයක් ලෙස සම්පත් ළඟා කර ගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ලවෙමින් පවතිනවා. එසේ වුවද ඉකුත් වසර දෙක තුළ රජය සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛතාවක් දුන් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදී ඇත්තේ. 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ඉකුත් දෙවසරේදී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබාදීමට හැකිවී තිබෙනවා. ඉදිරි වසර තුනේදී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ ඉලක්කය බව එම සමුළුවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.