නයිජීරියාවේ නීතිවිරෝධී තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට ඉමෝ ප්‍රාන්තයේ පිහිටි නීතිවිරෝධී තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් තුළ එලෙස පිපිරීමක් සිදුව ඇති බවයි. එහි සේවය කරමින් සිටි බොහෝ දෙනෙකු පිපිරීමත් සමග හටගත් ගින්නට හසුවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මියගිය බොහෝ පිරිසකගේ සිරුරු හඳුනාගත නොහැකි අන්දමින් පිලිස්සී ඇති බවයි වාර්තා වන්නේ. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බව සහන සේවකයින් පවසනවා.
මෙම නීතිවිරෝධී තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා නයිජීරියානු පොලීසිය මේවනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නීති විරෝධී තෙල් පිරිපහදු මධ්‍යස්ථාන නයිජීරියාවේ ආකර්ශනීය ව්‍යාපාර බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. දරිද්‍රතාවය සහ විරැකියාව හමුවේ පීඩාවිඳින බොහෝ පිරිස් එවැනි නීතිවිරෝධී තෙල් පිරිපහදු මධ්‍යස්ථානවල රැකියා සඳහා සම්බන්ධ වන බව ද විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.