Friday, May 10, 2024

General line - 0115112241

බාධක බිද දමමින් අන්තරේ සිසුන් ගෝල්ෆේස් අරගල භූමියට




රජයට එරෙහිව විරෝධතාවක් ආරම්භ කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් මේවනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ සිටිනවා. ගාලුමුවදොර අරගලභූමියේ සිටින විරෝධතාකරුවන්ට සහය පළ කරමින් ඔවුන් ද එම විරෝධතාවයට එක්වූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ සිය විරෝධතා පාගමන ආරම්භ කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින්. පා ගමනින් කොළඹ ගාලුමුවදොර පිටිය අසල අරගල භූමිය වෙත පැමිණීමට ඔවුන් සැලසුම් කර තිබුණා. කෙසේවෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය හා කොළඹ ජනාධිපති මන්දිරය අවට මාර්ග කිහිපයක් යකඩ බට යොදා සම්පූර්ණයෙන් වසා දැමීමටයි පොලීසිය අද දහවල් කටයුතු කළේ. 

මේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ. 

අනතුරුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ පෙර සැලසුම් කළ පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් සිය විරෝධතාව ආරම්භ කළා. ඉන් අනතුරුව ඔවුන් ටෙක්නිකල් මංසන්ධිය, පංචිකාවත්ත හා මරදාන පසුකර පැමිණියේ බොරැල්ල මංසන්ධියටයි. ඒ ඔස්සේ බෞද්ධාලෝක මාවතට පිවිසි සිසුන් අනතුරුව විජේරාම මාවත ඔස්සේ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට රැස්වුණා. 

අග්‍රාමාත්‍ය නිල නිවසේ දොරටුව අවහිර කර යොදා තිබූ බාධක ඉවත් කර එම පරිශ්‍රයට පිවිසීමට සිසුන් උත්සහ කළ අතර පොලීසිය එය වැළැක්වීමත් සමග එහි ඇතිවූයේ නොසන්සුන් තත්ත්වයක්. 

අනතුරුව සිසුන් පිරිසක් අග්‍රාමාත්‍ය නිල නිවසේ ප්‍රධාන පිවිසුම අසල තාප්පයට නැගී සිය විරෝධතාව පළ කළා. ඇතැමුන් එම පිවිසුම අසල කළුකොඩිද එසවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඉන් අනතුරුව විවිධ පාඨ කියමින් විරෝධතාකරුවන් රජයට සිය විරෝධය පළ කළා. 

මෙම විරෝධතා පාගමනට විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් රැසක් එක්ව සිටිනවා.