Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්ධන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් කැඳවයි




ඉන්ධන මිල දී ගැනීම, බෙදා හැරීම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර මොනවාද යන්න පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වනදාට පෙර අධිකරණයේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. 

ඉන්ධන මිල දී ගැනීම, බෙදා හැරීම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර කවරේද යන්න පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වනදාට පෙර අධිකරණයේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා නියම කලා. එවැනි වාර්තාවක් ගොනු කිරීමට එකඟතාවය පළ කරන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ පළ කළ එකඟතාවකින් අනතුරුවයි මෙම දැනුම් දීම සිදු කෙරුණේ. 

විදුලිය, ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ජනතාවට සැපයීමේ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැදවනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනග්ඊශ්වරන් සහ උදිත ඉගලහේවා, අධිකරණය හමුවේ අවධාරණය කළේ  ඉන්ධන ඇතුළු  අත්‍යාවශ්‍ය  ද්‍රව්‍යන්යහී පවතින අර්බුධකාරී තත්වය  නිසා  ජනතාව දැඩි අපහසුතාවයකට පත් ව සිටින බවයි.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් සියලු  ක්ෂේත්‍ර කඩා වැටෙමින් පවතින බව පෙන්වා දුන් එම ජනාධිපති නීතිඥවරු මීට වගකිවයුතු පුද්ගලයන් ඒ පිළිබඳව  තැකීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තත්වය තවත් උග්‍ර වී ඇතැයි ද චෝදනා කළා.

මෙම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා මැදිහත් වන ලෙස  අදාළ  බලධාරීන් වෙත නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයට පවතින බැවින්   පෙත්සමෙන් ඉල්ලා ඇති පරිදි  ඔවුන්  වෙත අතුරු  නියෝගයක්  නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී  නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ මීට පෙර  අධිකරණය ලබා දුන් නියෝගය පරිදි වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් අමාත්‍යාංශ කිහිපයක  ලේකම්වරු විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

එහිදී  ශ්‍රී ලංකා නීතීඥ  සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සඳහන් කළේ එලෙස  ඉදිරිපත් කර ඇති ඇතැම්  දිව්රුම් ප්‍රකාශ වල ඇතුළත් කරුණු  වර්තමාන තත්ත්වයට කිසිසේත්  අදාළ  නොවන බව යි.

ඉන්ධන ඇතුළු  පෝලිම් වලට යුද හමුදාව මැදිහත්  වීම  නිසා  ගැටලු රැසක්  මතුවී ඇති බවත්  මිනිසුන් විශ්වාස  කරන එකම ආයතනය  අධිකරණය  පමණක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එබැවින්  පෙත්සම මගින්  ඉල්ලා  සිටින  අතුරු තහනම් නියෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.

එහිදී  විනිසුරු මඩුල්ල  පෙන්වා දුන්නේ  ප්‍රමුඛතාවය දිය යුත්තේ  කුමන ක්ෂේත්‍රයන්ට ද යන්න  පිළිබඳව  බලධාරීන්ටද අවබෝධයක්  නොමැති  බවයි. 

බලධාරීන්ට මඟපෙන්වීම සඳහා මැදිහත්වීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන  බවද විනිසුරු  මඩුල්ල  පෙන්වා දුන්නා.
එහිදී   අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් ඉන්ධන මිල දී ගැනීම  , බෙදා හැරීම,  සහ එහිදී  ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර කුමක්ද යන්න පිළිබඳව   වාර්තාවක්  ඉදිරිපත් කිරීමට  එකඟතාවය පළ කළා. 

එම වාර්තාව ලබන 12වැනිදා ට පෙර ගොනු කරන ලෙස නියම කළ අධිකරණය එහි  පිටපත්  පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙස ද නියෝග කළා. විජිත් මළල්ගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.