Thursday, May 2, 2024

General line - 0115112241

චීනයට යන්න යළිත් ශ්‍රී ලාංකිකයින්ට දොර ඇරෙයි




කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ චීනය විසින් සිය රටට සිදුකරන සංචාර වැළැක්වීමට ගත් තීරණය ඉවත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ද ඇතුලත්ව සෙසු විදේශිකයින්ට චීනයට ඇතුලු වීමට යළි වීසා නිකුත් කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ. ඒ, කාණ්ඩ 04 ක් යටතේයි.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ චීනයේ රැකියා සඳහා යාමට අපේක්ෂිත පුද්ගලයින්ට ද මේ යටතේ වීසා නිකුත් කරන බවයි. එමෙන්ම චීනයේ මේ වන විටත් රැකියා කරන විදේශිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය සමීපතමයින් මුණගැසීම සඳහා එරටට පැමිණීමට ද චීනය විසින් වීසා නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මීට අමතරව චීනයේ අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට ද වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් ඒ සඳහා සුදුසුකම් ලැබීමට නම් එම සිසුන් දින 180 කට වැඩි කාලයක් චීනය තුළ රැඳී සිටිය යුතුයි.

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ චීනය විසින් දැඩි රෙගුලාසි ක්‍රියාත්මක කළා. ඒ යටතේ චීනයේ සිට සිය රටවල් බලා ගිය විදේශිකයින්ට යළි එරටට ඇතුලුවීමට ඉඩ ලබානොදීමටයි තීරණය කර තිබුණේ. චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්ද කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ මෙරටට පැමිණියා.