Saturday, April 27, 2024

General line - 0115112241

තියුණු තරගයකින් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව, ආසියානු කුසලානයේ සුපිරි වටයට 




ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය කඩුළු දෙකකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුපිරි වටයට පිවිසීමට මිට සුළු මොහොතකට පෙර සමත් වුවා.

තරගයට පෙර දෙපිලේ ක්‍රීඩකයින්, නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ජා වලදී සිදුකළ ප්‍රකාශයන් නිසා මෙය ඉතා උණුසුම්කාරී තරගයක් වූවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවෙන් පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

බංගලදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලකුණු 183ක් රැස් කර ගනු ලැබුවා. පන්දුවට පහර දීමේදී බංග්ලාදේශ පිලේ මෙහෙදී හසන් ලකුණු 38ක්, හෆිස් හුසේන් ලකුණු 39ක් රැස් කර ගනු ලැබුවා. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුළු දෙකක් දවා ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය තරගයේ පළමු පන්දු ඕවර 05 තුලදී ලකුණු 40ක් රැස්කර ගනු ලැබුවා.

කෙසේ වුවත් තරගයේ 06 වන පන්දු ඕවරය යැවීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ නවක වේග පන්දු යවන්නා විසින් ඉබාදත් හුසේන් විසින් පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක දවා ගනු ලැබූ අතර එතැන් සිට ප්‍රතිවාදී පන්දු යවන්නන් තරගය සිය පාලනයට ගනු ලැබුවා.

පිළිවෙලින් 7වන සහ 8 වන පන්දු ඕවර වලදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අඩු ලකුණු සංඛ්‍යාවකට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම ලෙස සටහන් වුයේ කඩුළු 4කට ලකුණු 77ක් ලෙසයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක දසුන් ශානක එතෙක් පිටියේ අනෙක් අන්තයේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සමග එක්ව ශ්‍රී ලංකා පිලේ 05 වන කඩුල්ලට ලකුණු 54ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

මෙම තරගයේදී තෙවතාවක් දැවී යාමේ අවස්ථා වලින් බේරීමට තරම් වාසනාවන්ත වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ 05 වන කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 37ක් තුලදී ලකුණු 60ක් රැස් කර ගැනීමට සමත් වුවා.

ඉන් පසුව පිටියට පිවිසි වනිදු හසරංග ලකුණු දෙකකට දැවී ගියා. ඒ එන විට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 45ක් අවශ්‍ය තිබුණා.

ඉන් පසුව දසුන් ශානක සහ චාමික කරුණාරත්න විසින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ආවත් තරගයේ 17වන පන්දු ඕවරයේ අවසාන පන්දුවේදී නායක දසුන් ශානක දැවීයන විට ඔහු ලකුණු 45ක් රැස් කර ගනු ලැබුවා. ඉන් අනතුරුව චාමික කරුණාරත්න ලකුණු 16කට දුවද්දී දැවී ගියා.

ඒ වන විට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා පන්දු 7 කදී ලකුණු 13ක් අවශ්‍ය තිබු අතර අසිත ප්‍රනාන්දු විසින් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් දෙකක් සමගින් තරගයේ ජය ශ්‍රී ලංකා පිලට හිමිවුයේ තරගය අවසන් වීමට තවත් පන්දු 04ක් ඉතිරිව තිබියදීය.