Saturday, April 27, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේ සුපිරි වටය ශ්‍රී ලංකා - ඇෆ්ගන් තරඟයෙන් අද ඇරඹේ




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටය අද ආරම්භ වනවා. මෙම වටයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයයි. සුපිරි 4 දෙනාගේ වටය ලීග් ක්‍රමයට පැවැත්වෙනවා.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී සෑම කණ්ඩායමක් සමගම තරග වැදිය යුතුයි. එහිදී වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් දෙක ආසියානු කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතරයි. 

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය බී කාණ්ඩය යටතේ තරග වැදුනා. පළමු වටයේදී දෙපිළ අතර පැවැති පළමු තරගයෙන් 

ශ්‍රී ලංකාවට අත්වූයේ දරුණු පරාජයක්. එහිදී ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිළේ සියලුදෙනා ලකුණු 105 කට දැවී ගියා. එම තරගය ඇෆ්ගනිස්තානය ජය ගත්තේ කඩුළු 08 කින්. කෙසේවෙතත් බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිළ ප්‍රදර්ශනය කළ සටන්කාමී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන අද තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. 

මේ අතර පකිස්තාන කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට ඊයේ සුදුසුකම් ලබාගත්තේ හොංකොං කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 155 කින් ජය ගනිමින්. එහිදී පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 02 ක් පමණක් දැවී ලකුණු 193 ක් රැස් කළා. කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායමට පන්දු වාර 10 යි පන්දු 04 තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 38 ක් පමණයි.