Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරුවන් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්න මට්ටු කරයි




ආසියානු කුසලානයේ සුපිරි වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04කින් ජය ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 20 තුලදී කඩුළු 6ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා. ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් රමනුල්ලා ගුර්බාස් පන්දු 45ක් තුලදී ලකුණු 84ක් සහ ඊබ්‍රාහිම් සද්රාන් ලකුණු 40ක් රැස් කරනු ලැබුවා. 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිල්ශාන් මධුශංක කඩුළු දෙකක් දවා ගනු ලැබුවා.

ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ආරම්භයේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාලනය කිරීමට සමත් වුවා. 

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය පන්දු ඕවර 6.3ක් තුලදී ලකුණු 62ක් රැස් කිරීමට සමත් වුවා.  ශ්‍රී ලංකා පිලේ පළමු සහ දෙවැනි කඩුල්ල ලෙස පිළිවලින් කුසල් මෙන්ඩිස් ලකුණු 36කට හා පැතුම් නිශ්ශංක ලකුණු 35කට දැවී ගියා.

ඉන් පසුව පිටියට පිවිසි චරිත් අසලංක ලකුණු 08ක් ලබා සිටියදී දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම දිස්වුයේ ලකුණු 94 ට කඩුළු 03ක් ලෙසයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක 04 වන කඩුල්ලට ලකුණු 25ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර නායක දසුන් ශානක ලකුණු 10කට දැවී ගියේ ලෝන් ඔෆ් කලාපයේ පන්දු රකිමින් සිටි නජිබුල්ලා සර්දාන් රැක ගත දර්ශනීය උඩ පන්දුවක් හේතුවෙනි.

ඉන් පසුව පිටියට භානුක රාජපක්ෂ තමන් මුහුණ දුන් පළමු පන්දුවේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පන්දු 14 කදී ලකුණු 31ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව දෙසට එල්ල වී තිබු පීඩනය ප්‍රතිවාදී පිලට හරවමින්ය.

පෙර තරග දෙකට වඩා මෙවර වගකීමකින් යුතුව පන්දුවට පහර දුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 20 කදී ලකුණු 33ක් රැස් කරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 19.1ක් තුලදී කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 179ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළා.