Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය තියුණු ජයක් වාර්තා කරයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවන තරගයෙන් ඉන්දියාව පරදවා කඩුළු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පකිස්තානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 181 ක් රැස් කළා. විරාත් කෝලි පන්දු 47කදි ලකුණු 60ක් රැස් කළේ හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් සමගයි.

නායක රෝහිත් ෂර්මා පන්දු 16කදි ලකුණු 28 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් වුණා. කේ එල් රාහුල් පන්දු 20 කදී ලකුණු 28 යි. පන්දු යැවීමේදී ෂඩාබ් ඛාන් ලකුණු 31කට කඩුළු 2ක් දවා ගත්තා. මොහොමඩ් නවාස් ලකුණු 25කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 22කදි බිද වැටුණු අතර දෙවන කඩුල්ල බිද වැටුණේ ලකුණු 63දීයි. ඉන් අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් නවාස් හා ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් එක්ව තුන්වන කඩුල්ල සදහා ලකුණු 73ක සබදතාවක් ගොඩනැගුවා. මොහොමඩ් නවාස් පන්දු 20කදි ලකුණු 42 ක් රැස් කළේ හතරේ පහර 6 ක් සහ හයේ පහර දෙකක් සමගයි. 

පකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 51කදී ලකුණු 71 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුණා. 

මෙම ජයග්‍රහණයත් සමග ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණිමට පකිස්තානය සමත් වුණා. දළ ලකුණු වේගය අනුව එම ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.