Thursday, May 2, 2024

General line - 0115112241

පැතුම්-කුසල් සහ දසුන්-භානුකගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට ජය ගෙන එයි 




නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ගේ සටන්කාමි පිතිහරඹය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයේ අද පැවති තරගයෙන් ඉන්දියාව කඩුළු 05කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුවා.

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පෙරමුණ ගනු ලැබුවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලබාදුන් ලකුණු 173ක රැස් කරනු ලැබුවා. ඉන්දියාව වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා 72ක් සහ සුර්ය කුමාර් යාදෙව් ලකුණු 34ක් ලබා ගත්තා. 

පන්දු යැවීමේදී නවක වේග පන්දු ක්‍රීඩක දිල්ශාන් මධුශංක ලකුණු 24කට ඉන්දීය පිලේ කඩුළු 03ක් දවා ගනු ලැබුවා. සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි ලකුණු නොලබාම යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට දිල්ශාන් මධුශංක සමත් වීමද තරගයේ එක් විශේෂ අවස්ථාවක් වුවා.

ලකුණු 174ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය පන්දු වාර 11.1 ක් තුලදී ලකුණු 97ක් රැස් කර ගනු ලැබුවා. එය මෙතෙක් විස්සයි 20 තරගයකදී ඉන්දියාවට එරෙහිව ඕනෑම කණ්ඩායමක් පළමු කඩුල්ල සඳහා තැබූ ඉහලම සම්බන්ධතාවය ලෙසයි වාර්තා පොත් අතරට එක්වුයේ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 52කට දැවී ගියේ යුස්වෙන්දර් චාහල් ගේ පන්දුවක් හමුවෙයි. එම පන්දු ඕවරයේදීම චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා පිලට යම් පිඩනයක් ගෙන දෙමින්.

ඉන් පසුව පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකට ද, ලකුණු 57ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු ඕවර 14.1කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 110ක් ව තිබියදී.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට තරගයේ ජය ලැබීමට පන්දු 35ක් තුලදී ලකුණු 64ක් ලබා ගත යුතුව තිබුණා.

සටන්කාමි පිතිකරණයක නිරත වූ නායක දසුන් ශානක (33*) සහ භානුක රාජපක්ෂ (25*) පන්දු 34ක් තුලදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගය අවසන් වීමට තවත් එක් පන්දුවක් ඉතිරිව තිබියදීය.