Thursday, May 2, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට පාකිස්තානය සුදුසුකම් ලබයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, තියුණු තරඟයකින් පසු ඇෆ්ගනිස්තාන කණ්ඩායම එක් කඬුල්ලකින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ පාකිස්තානු කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 06 ක් දැවී ලකුණු 129 ක් රැස් කළා.

ඊබ්‍රහීම් ශද්‍රාන් ලකුණු 35 යි. පන්දු යැවීමේදී හරීෂ් රවුෆ් ලකුණු 26 කට කඬුලු 02 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2 ක් තුළ කඬුලු 09 ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. ශඩාබ් ඛාන් ලකුණු 36 යි. පන්දු යැවීමේදී ෆරිඩ් අහමඩ් සහ ෆසාල්හක් ෆරූකි අතර කඬුලු 03 බැඟින් බෙදී ගියා. 

එම තරඟයේදී පාකිස්තානයේ මුල් කඬුලු 05 ලකුණු 97 ක් තුළ බිඳ දැමීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් වුණා. පන්දු වාර 18 යි පන්දු 5 ක් අවසානයේ පාකිස්තාන ලකුණු පුවරුව දැක්වුණේ කඬුලු 9 ක් දැවී ලකුණු 118 ක් ලෙසයි.

නවවන කඬුල්ල දැවී යාමත් සමඟ පාකිස්තානයට ජයග්‍රහණය සඳහා පන්දු 06 ක් තුළ අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 12 ක්. අවසන් පන්දුවාරයේදී පළමු පන්දු දෙකට පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් අවසන් කඬුල්ල ලෙස පිටියට එක්වූ නසීම් ෂා පන්දු 04 ක් තුල ලකුණු 14 ක් ලබාගනිමින් පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ අනුව ලබන 11 වනදා පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම ඩුබායිහිදී මුණ ගැසෙනු ඇති.