Tuesday, May 7, 2024

General line - 0115112241

ක්‍රිකට් වගේ රටත් ජයග්‍රහණය කරා රැගෙන යා හැකි මග ජනපති කියයි




දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කර ගත් බවත්, ඒ අයුරින් ක්‍රියාකරන්නේ නම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආසියානු ක්‍රිකට් සහ දැල් පන්දු ශූරතා දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම් 02 සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභීන් ඇගයීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රටටම ආදර්ශයක් ලබාදී ඇති බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගීතාව සංකේතවත් කරමින් ආසියානු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ සාමාජිකාවන්ට සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 02 බැගින් පිරිනැමීම ද එහිදී සිදු කෙරුණා. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් ලාභී පාලිත බණ්ඩාරට ක්‍රීඩා අරමුදලින් රුපියල් මිලියන 10 ක් සහ ලෝකඩ පදක්කම් ලාභීන් තිදෙනාට රුපියල් මිලියන 05 බැගින් එහිදී පිරිනැමුණා.  

මේ අතර මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක චෙක්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ද එහිදී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය එහිදී සඳහන් කළේ.