Tuesday, April 30, 2024

General line - 0115112241

රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවන වරටත් ඉන්දියාව හිමිකර ගනී




රෝඩ් සේෆ්ටි  වර්ල්ඩ් සීරීස් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 33 කින් පරාජයට පත් කරමින්. කාසියේ වාසිය හිමිකරගත්  ඉන්දීය ලෙජන්ඩ්ස්  කණ්ඩායමේ නායක සචින් තෙන්ඩුල්කාර් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නාමාන් ඕජා පන්දු 71 කදී ලකුණු 108ක් රැස්කිරීමට සමත්වුණා. ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර දෙකක් ඇතුළත්. විනේ කුමාර් පන්දු 21 කදී වේගවත් ලකුණු 36 ක් රැස් කලා.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 19 තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා. එහෙත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ආශිර්වාදයක් කර ගත් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නාමාන් ඕජා සහ විනේ කුමාර් තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සබඳතාවක් ගොඩ නැගුවා.

ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලෙස දැක්වූණා. නුවන් කුලසේකර ලකුණු 29කට කඬුලු 3ක් දවාගත්තා. ලකුණු 196 ක ජයග්‍රාහී  ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්  කණ්ඩායමට පන්දු වාර 18 යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 162ක් පමණයි.

ප්‍රවේගකාරී පිති හරඹයක නිරත වූ ඉෂාන් ජයරත්න පන්දු 22 කදී ලකුණු 51 ක් රැස්කිරීමට සමත්වුණා. ඊට හතරේ පහර 4ක් හා හයේ පහර හතරක් ඇතුළත්. මහේල උඩවත්ත පන්දු 19කදී ලකුණු 26යි. ඔවුන් දෙදෙනා හැර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයකුට ලකුණු විස්සේ සීමාව පසුකර යෑමට අවස්ථාව හිමි වුණේ නැහැ.

පන්දු යැවීමේදී විනේ කුමාර් ලකුණු 38කට කඩුලු 3ක් ලබා ගත්තා. ඒ අනුව රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වරටත් ශූරයන් බවට පත්වීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා. අවසන් තරගයේ වීරයා ලෙස නාමාන් ඕජා සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න දිල්ෂාන් සම්මාන හිමිකර ගත්තා.