Tuesday, April 30, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාව ජය ගනී




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ රාත්‍රියේ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 16 කින් ජය ගනිමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 3 ක් දැවී ලකුණු 237 ක් රැස් කළා. සූර්ය කුමාර් යාදෙව් පන්දු 22 කදී ලකුණු 61 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් වුණා. කේ එල් රාහුල් පන්දු 28 කදී ලකුණු 57 ක් රැස් කළේ හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගයි. 

ලකුණු 238ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 3 ක් දැවි ලබාගත හැකි වුණේ ලකුණු 221 ක් පමණයි.

සටන්කාමී පතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් පන්දු 47කදි නොදැවී ලකුණු 106 ක් රැස් කළා. ඒ, හතරේ පහර 8 ක් සහ හයේ පහර 7 ක් සමගයි. ක්වින්ටන් ඩි කොක් පන්දු 48 කදී නොදැවි ලකුණු 69 ක් රැස් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සිය මව්බිමේදී ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වුණේ.