Friday, May 10, 2024

General line - 0115112241

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි




උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. සති දෙකකට අඩු කාලයක් තුළ උතුරු කොරියාව අත්හදා බැලූ 06 වන මිසයිලය මෙයයි.

මෙම මිසයිලය උඩු ගුවනට එක්කර ඇත්තේ අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ඉකුත්දා සිදුකළ යුධ අභ්‍යාසයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු කොරියාව විසින් අත්හදා බැලූ එක් මිසයිලයක් කිලෝමීටර් 800 ක් දුර ඉලක්කයකට එල්ල කළ හැකි අතර තවත් මිසයිලයක් කිලෝමීටර් 350 ක ඉලක්කයකට එල්ල කළ හැකි බව එම වාර්තාවල සඳහන්.

උතුරු කොරියාව විසින් පෙරේදා දිනයේ අත්හදා බැලූ එක් මිසයිලයක් ජපානයට ඉහළ අහසේ ගමන් කර ඇති බවටද මේ වන විට වාර්තා පළ වනවා. එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකට හේතුවක් වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම් හා ජාත්‍යන්තර මැදිහත්වීමෙන් 2017 වසරේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුවූ සමය තරම් උණුසුම් වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.