Friday, May 10, 2024

General line - 0115112241

රුසියාව, ක්‍රයිමියාව යා කළ පාලම කඩා වැටෙයි - ආරම්භය දැනුයි - යුක්‍රේනයෙන් ප්‍රකාශයක්




රුසියාව සහ යුක්රේන අර්ධද්වීපයේ පිහිටි ක්‍රයිමියාව යා කරමින් ඉදිකර ඇති එකම පාලම අද කඩා වැටුණා. ඒ, අද සිදුවූ දැවැන්ත පිපිරීමකින් අනතුරුවයි. යුක්රේනයට අයත් ක්‍රයිමියාව ඈඳා ගැනීම සංකේතවත් කරමින් රුසියාව ඉදිකළ එම පාලම විවෘත කෙරුණේ 2018 වසරේදීයි.

පාලම ආසන්නයේ තිබූ ලොරි රථයක් පළමුව පුපුරා ගිය අතර ඒ හමුවේ පාලමේ දුම්රිය මාර්ගය පිහිටි කොටසේ තිබූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ගිනි ගැනීමට ලක්වුණා.

ගින්න ක්ෂණිකව පාලම පුරා පැතිර ගොස් එහි මහා මාර්ගය පිහිටි කොටස සම්පූර්ණයෙන් ගිනිගෙන අනතුරුව එම කොටස පුපුරා කඩා වැටි තිබෙනවා. ගින්න මැඩපැවැත්වීමෙන් අනතුරුව පාලමේ දුම්රිය මාර්ගය පිහිටි කොටස යළි විවෘත කළ බවයි රුසියාව පැවසුවේ.

කෙසේවෙතත් පාලම පුපුරා යාමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියාව පවසනවා. එලෙස මියගොස් ඇත්තේ පාලම ආසන්නයේදී පුපුරා ගිය ලොරි රථය ආසන්නයේ තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයින් තිදෙනෙක්. 

මේ අතර පාලම පුපුරවා හැරීම සම්බන්ධයෙන් සැකයක් මතුවන සටහනක් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කිගේ උපදේශකයෙකු විසින් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ ක්‍රයිමියාව, පාලම, ආරම්භය ලෙසයි.

ඊට අමතරව නීතිවිරෝධී සියලු දේ විනාශ විය යුතුයි, සොරාගත් සියලු දේ යුක්රේනයට යළි හිමිවිය යුතුයි, රුසියාව අල්ලා ගෙන සිටින සියල්ල නෙරපා හැරිය යුතු බව ද ඔහු සටහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

රුසියාව එම පාලම භාවිත කරනු ලැබුවේ යුක්රේනයේ සිටින සිය හමුදාවන්ට අවශ්‍ය අවි සහ අතිරේක හමුදා භටයින් ප්‍රවාහනය සඳහායි.