Friday, May 17, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේ අනුශුරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට 

ටී.කේ.ජී.කපිල





 අවුරුදු 14කට පසුව ආසියානු කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණ ද එම කුසලානය ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව හැටියට තමන් කනගාටුවට පත් වන බව චමරි අතපත්තු පවසනවා.

ඇය එසේ ප්‍රකාශ කළේ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

හර්ෂනී මාධවී, ඉනෝකා රණසිංහ සහ ඕෂදී යන ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය තුළ දී දැක් වූ දස්කම් අප කණ්ඩායම අවසාන මහා තරගය තෙක් රැගෙන ඒමට ඉවහල් උනා. මෙම තරගාවලිය තුළ මට ලකුණු අතරට පැමිණීමට නොහැකි උනා. අප කණ්ඩායමේ පන්දු යැවීම උසස් මට්ටමක පැවතුනත්, පිතිකරණය අතින් දුර්වල උනා යැයි එහිදී තවදුරටත් අදහස් දැක්වූ චමරි අතපත්තු පවසා සිටියා..

ඉදිරි මාස වල බංග්ලාදේශය සමග එක් දින තරග 03 ක් සහ විස්සයි විස්ස තරග 03 ක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර එළඹෙන 2023 වසරේ පෙබරවාරි මස දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතර එහිදී හොදින් තරග කරමින් එය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන බව ද ඇය වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දින සවස 04.45 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අංශයේ ප්‍රධානී මනූජ කාරියප්පෙරුම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.