Friday, May 17, 2024

General line - 0115112241

කෙටි දුර ධාවනයෙන් දකුණු ආසියාව මවිත කළ යුපුන් දිවයිනට

ටී ජී කේ කපිල




2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන් යුපුන් අබේකෝන් අද අලුයම දිවයිනට පැමිණියා. අද අලුයම 05.45 ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් යුපුන් අබේකෝන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී යුපුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා. එම අවස්ථාවට යුපුන්ගේ මව, මිත්තණිය, ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එංගලන්තයේ බර්මින්හැම් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේදී යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ඉකුත් අගෝස්තු මාසයේදීයි. ඉතාලියේ රැදී සිටිමින් සිය පුහුණුවීම්වල නිරත වන යුපුන් අබේකෝන් එම ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.    

මීටර් 100 ඉසව්ව තප්පර 9යි දශම 9යි 6ක කාලයකින් නිම කිරීම යුපුන්ගේ ඉහළම දක්ෂතාව වනවා. ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඔහු මේවනවිට පසුවන්නේ 20වන ස්ථානයේයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනා ගැනීම, මීටර් 100 ඉසව්ව තප්පර 10ට අඩු කාලයකින් නිමා කළ දකුණු ආසියාවේ පළමු ක්‍රීඩකයා වීම පිළිබද තමන් සතුටට පත් වන බවයි යුපුන් අබේකෝන් මාධ්‍ය හමුවේ කියා සිටියේ. 

සිය ජයග්‍රහණ පුහුණුවීම්වල ප්‍රතිඵලයක් බවත්, ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව පුහුණුවීම් සහ සත්කාර තමන්ට ලැබුණු බවත් යුපුන් අබේකෝන් එහිදී කියාසිටියා. තමන් මාසයක පමණ කාලයක් මෙරට රැදී සිටින බවත්, එම කාලය තුළ ගම්බද ක්‍රීඩකයන්ට උදව් කිරීමට බලාපොරොත්තු වන බවත් යුපුන් අබේකෝන් එහිදී වැඩිදුරටත් සදහන් කළා.