Tuesday, May 21, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු ප්‍රතිවාදියා සොයන තීරණාත්මක තරගය අද




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තීරණාත්මක තරඟ දෙකක් අද පැවැත්වෙනවා. ඒ, “B” කාණ්ඩය යටතේයි. පළමු තරඟය අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙනවා. දෙවන තරඟය පැවැත්වෙන්නේ ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරයි.

එම තරඟ දෙක අතිශය තීරණාත්මක වී ඇත්තේ මෙම කණ්ඩායම් එක් තරඟය බැඟින් ජයගෙන අද තරඟ බිමට පිවිසීම හේතුවෙන්. ඒ අනුව මෙම තරඟ දෙකෙන් ජයගන්නා කණ්ඩායම් දෙක සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා. 

මෙම තරඟ දෙක ශ්‍රී ලංකා කණ්ඩායමටද වැදගත්. ඒ, මෙම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායම සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයටයි. සුපිරි 12දෙනාගේ තරඟ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පළමු තරඟයට පිවිසෙන්නේද එම කණ්ඩායම සමඟයි. 

මේ අතර සුපිරි කණ්ඩායම් 12 වටයේදී ශ්‍රී ලංකාවට, නවසීලන්තය, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව සහ ඇෆ්ගනිස්ථානය මුණ ගැසෙනවා. එම වටයේදී ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය ඕස්ට්‍රේලියාව සමග ලබන 25 වනදා පැවැත්වීමට නියමිතයි. මීළඟ තරඟයේදී ලබන 29 වනදා ශ්‍රී ලංකාවට මුණ ගැසෙන්නේ නවසීලන්තයයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය නොවැම්බර් 1 වනදා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට එංගලන්තය මුණ ගැසෙන්නේ නොවැම්බර් 5 වනදායි.