Saturday, May 4, 2024

General line - 0115112241

පිත්තෙන් සහ පන්දුවෙන් කුසල් සහ වනිදු පෙරමුණට




2022 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

තරග 4ක් අවසානයේ ඔහු රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 171ක්. ඊට අර්ධ ශතක දෙකක්ද ඇතුළත්. එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ තරග තුනකදී ලකුණු 136ක් ලබාගත් සිම්බාබ්වේ ක්‍රීඩක ශිකන්දර් රාසායි. මේ අතර වැඩිම කඩුළුලාභීන් අතර පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමත් වී තිබෙනවා. තරග 4කදී ඔහු ලබාගත් කඩුළු සංඛ්‍යාව 9ක්. 

මේ අතර සුපිරි 12 වටයේ බී කාණ්ඩයට ශ්‍රී ලංකා කණ්ඩායම තේරි පත් වූයේ නම් පහසුවෙන් තරග ජයග්‍රහණය කිරීමට හැකි බවට ඇතැම් ක්‍රිකට් විචාරකයින් මත පළ කරනවා. ඒ, ආසියානු රටවල් තුනක් එම කාණ්ඩයේ සිටීම සහ ශ්‍රී ලංකාව ආසියානු ශූරතාවය ලබාගැනීම හේතුවෙන්.  කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මෙරට වේග පන්දු පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෙකු ද වන අනූෂ සමරනායක පැවසුවේ සුපිරි 12 වටයේ ඒ කාණ්ඩයෙන් තරග කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකාවට වාසිසහගත වනු ඇති බවයි. 

ඔහු මෙම අදහස් පළ කළේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරග පිළිබද විශ්ලේෂණාත්මක සාකච්ඡා ඇතුළත් නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව හරහා විකාශය කෙරෙන  “ටොස් එකට කලින්” විශේෂාංගයට එක්වෙමින්. 

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරගයක් මේවනවිට පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතරයි. කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළා. අෆීට් හොසේන් පන්දු 27කදී ලකුණු 38යි.

ලකුණු 145ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 11යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 59ක් රැස්කරගෙන සිටියා.