Wednesday, May 8, 2024

General line - 0115112241

රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ අගමැති පුටුව භාර ගනී - වැරදි නිවැරදි කර රට ස්ථාවර කරන බවට ප්‍රතිඥා




රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ 57 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අද පත්වුණා. ඒ සම්ප්‍රදායානුකූලව බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජු හමුවීමෙන් අනතුරුවයි. බකින්හැම් මාලිගයේදී චාල්ස් රජු හා නව අග්‍රාමාත්‍යවරයා අතර හමුව සිදුවුණා. 

අනතුරුව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය නිල නිවස වන “නම්බර් ටෙන්” පරිශ්‍රයට පැමිණි රිෂී සුනක් එහිදී අග්‍රාමාත්‍යවරයා ලෙස බ්‍රිතාන්‍ය ජනතාව ඇමතූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එහිදී රිෂී සුනක් පැවසුවේ බ්‍රිතාන්‍යයේ ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි. එහෙත් හිටපු අග්‍රාමාත්‍ය ලීස් ට්‍රස් අතින් සිදුවූ වැරදි තමා නිවැරදි කරන බවයි ඔහු එහිදී එරට වැසියන්ටප්‍රතිඥා ලබා දුන්නේ. 

ඉදිරියේදී අසීරු තීරණවලට එළඹීමට සිදුවනු ඇති බවත්, දේශපාලනයට ඉහළින් රටේ අවශ්‍යතා ඔසවා තබන බවත් නව අග්‍රාමාත්‍යවරයා සිය පළමු කථාවේදී බ්‍රිතාන්‍ය වැසියන් හමුවේ ප්‍රකාශ කළා.

වසර 200 ක නූතන දේශපාලන බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් ලාබාලතම අග්‍රාමාත්‍යවරයා මෙන්ම එම ධූරයට පත්වූ ඉන්දියානු සම්භවයක් සහිත පළමු හින්දු භක්තිකයා ලෙසයි රිෂී සුනක් බ්‍රිතාන්‍යය දේශපාලන ඉතිහාසයට එක්වන්නේ. ඔහුගේ තේරී පත්වීමට ඉන්දීය මාධ්‍ය දැඩි අවධානයක් ලබාදී තිබූ අතර ඔවුන් එය වාර්තා කළේ බ්‍රිතාන්‍ය අධිරාජයාට ඉහළින් නැගී ආ භාරතීය පුත්‍රයා ලෙසයි. 

කෙසේවෙතත් නව අග්‍රාමාත්‍යවරයා තනතුර භාර ගැනීමත් සමග බ්‍රිතාන්‍යයේ අධිකරණ ලේකම්වරයා සහ වෙළඳ ලේකම්වරයා සිය තනතුරුවලින් ඉවත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර නව නායකත්වය යටතේ වුවද බ්‍රිතාන්‍ය සමග පවතින සබඳතා ධනාත්මක ලෙස ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා නොකරන බව රුසියාව පවසනවා. බොරිස් ජොන්සන් මෙන්ම ලීස් ට්‍රස් අග්‍රාමාත්‍යධූරය අතහැරීම සම්බන්ධයෙන් රුසියාව සතුට පල කළත් කවුරුන් අග්‍රාමාත්‍යධූරය භාරගත්තද එය වැදගත් නොවන බවයි රුසියාව පවසා ඇත්තේ.

යුක්රේන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍ය හා රුසියාව අතර තිබූ හොඳ හිත පළුදු වූණා. පසුව එය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා තීව්‍ර වුණේ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සඳහා බ්‍රිතාන්‍ය, රුසියාවට ආරාධනා නොකිරීම හමුවේයි.