Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි තරඟයේදී ස්ටොයිනස් වාර්තා අතරට




විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ තවත් තරඟයක් මෙල්බර්න්හිදී අද පැවැත්වෙනවා. ඒ, එංගලන්ත කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතරයි. මෙරට වේලාවෙන් උදෑසන 09 යි 30 ට තරඟය ආරම්භවීමට නියමිතව තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ඊයේ පැවති තරඟයේදී ඔස්ට්‍රේලියානු පිතිකරු මාර්කස් ස්ටොයිනස් පන්දු 17 කදී වාර්තා කළ අර්ධ ශතකය වාර්තා අතරට එක්ව තිබෙනවා. ඒ, ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු විස්සයි 20 තරඟයකදී රැස්කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

එම තරඟයේදී මාර්කස් ස්ටොයිනස් පන්දු 18 කදී නොදැවී ලකුණු 59 ක් වාර්තා කළා. ඒ හතරේ පහර 04 ක් සහ දැවැන්ත හයේ පහර 06 ක් සමඟයි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය දැක්වුනේ සියයට 327 යි දශම 7 යි 7 ක් ලෙසයි. එහිදී ස්ටොයිනස් වාර්තා කළ අර්ධ ශතකය විස්සයි 20 පිටියේ ලොව ඕනෑම රටක පිතිකරුවෙකු රැස්කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය ලෙසද වාර්තා අතරට එක් වුණා.

විස්සයි 20 පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ හිටපු පිතිකරු යුවරාජ් සිං. ඒ, පන්දු 12 කදීයි.