Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවටත් බලපාන ඔස්ට්‍රේලිය - එංගලන්ත ලෝක කුසලාන තරඟය අද




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අතිශය තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, සත්කාරක ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරයි.

මේ තරඟයේ ජය පරාජය මත මෙම කණ්ඩායම් දෙකේම ලෝක කුසලාන ඉදිරි ගමන බොහෝදුරට තීරණය වනු ඇති. සුපිරි 12 දෙනාගේ වටයේ කිසියම් කණ්ඩායමක් තරඟ දෙකක් පරාජය වුවහොත් ඔවුන්ට ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව අවධානමකට පත්වනවා.

මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගිවූ තරඟ දෙකෙන් එක් තරඟය බැඟින් ජයගෙන සිටිය ද එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේත්, ඔස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේත් පසුවනවා. මෙම තරඟයෙන් ජය ගැනීම මෙන්ම ඉහළ දළ ලකුණු වේගයක් ද රඳවා ගැනීම මෙම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.

එංගලන්තයට මෙම තරඟයෙන් පසුව මුණගැසෙන්නේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව පමණයි. කෙසේවෙතත් ඕස්ට්‍රේලියාවට මෙම තරඟයෙන් පසුව අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය මුණගැසෙනවා.

එහෙත් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දළ ලකුණු වේගය පවතින්නේ ඉතා අවම මට්ටමකයි. ඒ අනුව ඉන්දියා පාකිස්තාන තරඟය මෙන් අද තරඟය ද පවතින්නේ දැඩි පීඩනයක් මැදයි.

එමෙන්ම මෙම තරඟයේ ජය පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරි ගමනට ද අතිශය වැදගත්. ඒ, ශ්‍රී ලංකාව ද මෙම කණ්ඩායම් දෙක තරඟවදින කාණ්ඩයට ඇතුලත්වීම සහ ඉදිරියේදී එංගලන්තය ද මුණගැසීම හේතුවෙන්. ඕස්ට්‍රේලියා - එංගලන්ත තීරණාත්මක තරඟයට වර්ෂාව ඇදහැලීමේ ඉහළ සම්භාවිතාවක් ද පවතිනවා.

එසේ වුවහොත් මෙම කණ්ඩායම් දෙකටම හිමිවන්නේ එක් ප්‍රසාද ලකුණක් පමණයි. ලැබෙන නවතම වාර්තාවලට අනුව අද තරඟය පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශයට මේ වන විටත් වැසි ඇදහැලෙමින් තිබෙනවා.

මීට අමතරව අයර්ලන්ත - ඇෆ්ගනිස්තාන තරඟය ද අද පැවැත්වෙනවා. යම් හෙයකින් මෙම තරඟයෙන් අයර්ලන්තය ජයගතහොත් ඔවුන් ප්‍රබල කණ්ඩායම් අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණෙනවා. ඇෆ්ගනිස්තානය මෙම තරඟයෙන් පරාජයවුවහොත් බොහෝදුරට ඔවුන්ගේ ලෝක කුසලාන ඉදිරි ගමන එයින් අවසන් වනු ඇති.

පළමු කාණ්ඩයේම ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරඟය පැවැත්වන්නේ හෙටයි. ඒ, නවසීලන්තය සමඟයි. ලෝක කුසලාන තරඟ බිමේ හෙට පැවැත්වෙන එකම තරඟය ද එයයි. මේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රවීණ වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක

ප්‍රවීණ වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක සහභාගිවූ “ටොස්ට් එකට කලින්” විශේෂ සංවාදය නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.