Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධන හිගය තවත් සතියක් පවතින ලකුණු




ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත පවතින ඉන්ධන හිගය තවත් සතියක් පමණ පැවතිය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි උප සභාපති කුසුම් සදනායක නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අවශ්‍ය තරම් රට තුළ ඉන්ධන තොග පැවතියද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මෙම ඉන්ධන හිගය හටගෙන ඇති බවයි. 

ඉන්ධන මිල සංශෝධනයට තමන් විරුද්ධ නොමැති බවත් එය නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කරන ලෙසත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක්ද කළා. 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින පිරවුම්හල්වලින් ඊයේ දිනය වනවිට සියයට 80කට ආසන්න ප්‍රමාණයක ඉන්ධන අවසන් වී තිබුණා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්ද දක්නට ලැබුණ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මෙම සතිය තුළ ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. එබැවින් අවශ්‍ය පරිදි ඉන්ධන ඇණවුම් කරන ලෙසට අමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක්ද කළා.