Friday, January 10, 2025

General line - 0115112241

ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවෙන් ලෝක වාර්තාගත ජයක්




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් වාර්තාගත ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

ඔස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 309කින්. එය ලෝක කුසලන ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දැවැන්තම ජයග්‍රහණයයි.


තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු  399 ක් රැස් කලා.

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 44කදී ලකුණු 106ක් රැස කලේ ලෝක වාර්තාවක් ද බිහිකරමින්. මැක්ස්වෙල් සිය ශතකය රැස් කලේ පන්දු 40කින් වන අතර එය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකයයි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාව මෙම තරගාවලිය තුල අවස්ථා දෙකකදී බිද වැටීම විශේෂත්වයක්.

මීට පෙර දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් පන්දු 49කදී ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් රැස් කරමින් ලෝක වාර්තාව බිහිකර තිබුණා.

ඔස්ටේ්‍රලියාව තරගයේ අවසන් පන්දුවාර 05දී ලකුණු 87ක් රැස් කර ගැනීම ද කැපී පෙනුනා. පන්දු යැවීමේදී නෙදර්ලන්තයේ බස් ඩි ලීඩ් ගේ පන්දුවාර 10 තුල ඔස්ටේ්‍රලියා පිතිකරුවන් ලකුණු 115ක් රැස් කලා.

එය වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ පන්දු යවන්නෙකුට එරෙහිව රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසයි.

මීට අමතරව මෙවර ලෝක කුසලානයේ පිට පිට සිය දෙවන ශතකය රැස් කල ඩේවිඩ් වෝනර් ද ලකුණු 104ක් ලබා ගත්තේ තවත් ක්‍රිකට් වාර්තාවක් පිහිටුවමින්.

ඒ අනුව 2007 වසරෙන් පසුව එලෙස ලෝක කුසලාන තරගාවලියක ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු අඛණ්ඩව ශතක දෙකක් රැස් කල පළමු අවස්ථාව එය බවට පත්වනවා.


එමෙන්ම මෙම තරගයේදී ඩේවිඩ් වෝනර් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කල දෙවන ක්‍රීඩකයා බවට පත්වුණේ ශතක 06ක් රැස් කරමින් සචින් ටෙන්ඩුල්කාර් බිහිකර ඇති වාර්තාව සම කරමින්.

මීට අමතරව ලෝක කුසලාන එක්දින තරග ඉතිහාසයේ ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු රැස් කල වැඩිම ශතක සංඛ්‍යාවද මෙයයි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල නෙදර්ලන්තයේ සියලු දෙනා පන්දුවාර 21ක් තුල ලකුණු 90කට දැවී ගියා.


මේ අතර ශ්‍රී ලංකාවට සහ එංගලන්තයට අතිශය තීරණාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟය අද සවස 2 ට ආරම්භ වනවා.