Friday, January 10, 2025

General line - 0115112241

ලෝක කුසලානයේ මෙතෙක් පැවති උණුසුම්ම තරගයෙන් දකුණු අප්‍රිකාවට එක් කඩුල්ලක තියුණු ජයක්




මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මෙතෙක් පැවති උණුසුම්ම හා සුපිරිම තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ, දකුණු අප්‍රිකාව හා පකිස්ථානය අතරයි. ක්‍රිකට් විචාරකයින් මෙම තරගය හැදින්වූයේ තරගාවලියේ තරගය ලෙසයි.

ඒ, මෙම තරගයේ ජය අවසන් මොහොතේ එක් කඩුල්ලකින් තීරණය වීම හේතුවෙන්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය සියලු දෙනා දැවී ලකුණු 270ත් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකාව පන්දුවාර 42යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 271ක් රැස් කරමින් තරගය ජයගත්තා.

දකුණු අප්‍රිකානු පිලිතුරු ඉනිම ආරම්භ වූ මොහොතේ සිට තරගය වරින් වර දෙපිලටම දෝලනය වෙමින් තිබුණා. කෙසේ වෙතත් එක් අන්තයක් රැක ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ඒඩ්න් මාක්‍රම් ලකුණු 91ක් රැස් කළා.

36වන පන්දුවාරය අවසන් වන විට දකුණු අප්‍රිකාවට පන්දු 84කදී රැස් කරගත යුතු වූයේ ලකුණු 47ක් පමණයි. ඒ වන විට තවත් කඩුලු 05ක් දකුණු අප්‍රිකාව සතුවුණා.

එහෙත් ඉන් පසුව පන්දුවාරයෙන් පන්දුවාරයට කඩුළු බිද වැටීමත් සමග තරගයේ ජය පකිසථානය දෙසට යොමුවුණා. එහෙත් ඒඩ්න් මාක්‍රම් එක් අන්තයක් රැක ගනිමින් පන්දුවට පහර දුන් අතර දකුණු අප්‍රිකාව වරෙක කඩුලු 04ක් අතැතිව පන්දු 60කදී ලකුණු 22ක් ලබා ගත යුතු තරම් පහසු ස්ථානයකට යලි පත්වුණා.

එහෙත් පකිස්ථානය යලි තරගයට අවතීරණ වූයේ තවත් පන්දු දෙකක් තුල මාක්‍රම් දවා ගැනීමත් සමගයි.

 
ඉන් පසු පකිස්ථාන වේග පන්දු යවන්නන් තරගයට අවතීරණ වී තවත් කඩුලු 03ක් දවා ගත් අතර අවසානයේ දකුණු අප්‍රිකාවට එක් කඩුල්ලක් පමණක් අතැතිව පන්දු 24ක් තුල ලකුණු 8ක් ලබා ගත යුතු වුණා.

45වන පන්දුවාරයේ අවසන් පන්දුව පිතිකරුගේ පාදයේ වැදුණද විනිසුරු එය නොදැවුණු බවට විනිසුරු සංඥා කළා. එහෙත් එය තෙවන විනිසුරුට යොමු කිරීමේදී පිටියේ විනිසුරුගේ තීරණය එනම් අම්පයාර්ස් කෝල් තීරණය ලැබීමෙන් පකිස්ථන බලාපොරොත්තු බිද වැටුණා.

පසුව පකිස්ථාන වේග පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය මැද ක්‍රීඩා පිටියට රැස්ව සිටි 30,000කට ආසන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දකුණු අප්‍රිකාව හතරේ පහරක් එල්ල කරමින් තරගය ජය ගත්තා.

අවසන් පිතිකරුවන් දෙදෙනා ජය සැමරුවේ කෑ ගසමින්. මෙම තරගයේ ජයත් සමග පකිස්ථානයේ ලෝක කුසලාන බලාපොරොත්තු දැඩි අවදානමකට වැටී ඇති අතර ශ්‍රී ලංකාවට පකිස්ථානයෙන් එල්ල වූ පීඩනය තරමක් අඩුවී තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව තවමත් පස්වන ස්ථානයේ පසුවනවා.