Friday, January 10, 2025

General line - 0115112241

පකිස්ථානයේ ලෝක කුසලාන ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට අතිශය තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශය සමගයි.

තමන් සහභාගී වූ තරග 06න් එකක් පමණක් ජයගෙන සිටින බංග්ලාදේශය දැනටමත් තරගාවලියෙන් ඉවත් වී අවසන්.

එහෙත් ඔස්ටේ්‍රලියාව හමුවේ නවසීලන්තය පරාජය වීම හේතුවෙන් පකිස්ථානයට ලෝක කුසලානයේ ඉදිරිය ගැන තවත් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි වුණා.

ඒ අනුව අද තරගය ඇතුලු ඉතිරි තරග 03නම ජයගතහොත් පකිස්ථානයටද යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි වනු ඇති.

පකිස්ථානය මේ වන විට තරග 06කට සහභාගී වී තරග 02ක් පමණක් ජය ගෙන ප්‍රසාද ලකුණු 4ක් පමණක් රැස් කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාවද දැන් සිටින්නේ පකිස්ථානයට සමාන මට්ටමකයි. ඒ අනුව ශ්‍රී ලංකාවද ඉතිරි තරග 03ම ජයගත හොත් ප්‍රසාද ලකුණු 10ක් සමග සුපිරි 04 දෙනාගේ වටය පිලිබද බලාපොරොත්තු තබා ගෙන සිටිය හැකි වනවා.

එහෙත් ඒ සදහා ඉහලින්ම සිටින කණ්ඩායම් දෙකක් ප්‍රසාද ලකුණු 12ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතුයි. එමෙන්ම දැනට ඉදිරියෙන් සිටින සෙසු කණ්ඩායම් දෙක ලබන පරාජයන්ද ශ්‍රී ලංකා ගමනට තීරණාත්මකව බලපානු ඇති.

එසේ වුවහොත් කණ්ඩායම් 03කට හෝ ඊට වැඩියෙන් ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා ගත හැකි වනවා. 

එසේ වුවහොත් සුපිරි කණ්ඩායම් හතරේ අවසන් කණ්ඩායම් දෙක තීරණය කිරීමට සිදු වන්නේ දල ලකුණු වේගය මතයි.

ඒ අනුව බලන විට ඊයේ තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකාවට සුපිරි 04 දෙනාගේ වටයට යාම සදහා දැන් ඉතිරිව ඇත්තේ ඉතා සුලු අවස්ථාවක් පමණයි.

මේ අතර, ඇෆ්ගනිස්ථානය සමඟ ඊයේ පැවති තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය කණ්ඩායම ලැබූ පරාජය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.