Friday, January 10, 2025

General line - 0115112241

අවමන් සහගත පරාජයෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවත් වන තැනට





මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් ලැබූ අමිහිරිමි සහ මෙතෙක් ලැබූ දැවැන්තම පරාජය අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදුවුණා.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම හමුවේ 302 ක පරාජයක් හිමිකර ගනිමින්. ලකුණු පරතරයටත් වඩා මෙහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 කදී සියලුදෙනා ලකුණු 55 කට දැවී යාමයි.

එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම 1975 වසරෙන් පසු ලෝක කුසලාන ක්‍රිකට් තරඟයක ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දැවී ගිය ලකුණු 55 සැලකෙන්නේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් දැවී ගිය තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.


මීට මාස එකහමාරකට පෙර පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ද ශ්‍රී ලංකාව ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ලකුණු 50 කට දැවී ගියා.

ඒ අනුව මාස එක හමාරකට ආසන්න කාලයක් තුළ ඉන්දිය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඬුලු 20 ක් ලකුණු 105 ක් තුළ දැවී යාම කැපී පෙනෙන තත්ත්වයක්. එහි තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකා පිළ මෙලෙස ඊයේ ලකුණු 55 කට දැවී යන්නේ පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳුවූ වන්කඩේ ක්‍රීඩාංගණය තුළදී වීමයි.


ලකුණු 358 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිසි කසුන් රාජිතයි.

ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 14 ක්. ශ්‍රී ලංකා පිලේ මුල් කඩුළු 04 ලකුණු 03 ක් තුළ දැවී ගියේ පන්දු 19 ක් තුළයි. ඉන්පසුව ලකුණු 14 දී, 22දී, 29 දී, 49 දී හා 55 දී සෙසු කඩුළු බිඳ වැටුණා. ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් 05 දෙනෙකු ලකුණු නොලබා දැවී යාම කැපීපෙනෙන සිද්ධියක්.


දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සාමි ලකුණු 18 කට කඩුළු 05 ක් බිඳ හෙලුවා. ඔහු වාර්තා පොත් අතරට එක්වූයේ ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලැබූ පන්දු යවන්නා ලෙසයි.

එමෙන්ම මොහොමඩ් සාමි එක්දින ලෝක කුසලාන පිටියේ අවස්ථා 07 කදී කඩුළු 04 බැගින් බිඳ හෙලා ඇති අතර එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා ඔහුයි.

එමෙන්ම ඔහු කඩුළු 05 බැගින් අවස්ථා 04 කදී දවා ගෙන ඇති අතර එවැනි දස්කමක් දැක්වූ පළමු ඉන්දීය පන්දු යවන්නා ලෙස ද ඔහු වාර්තා අතරට එක්වුණා. 


මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට ඉන්දියාව පත්වුණා.

තරග 07 ක් අවසානයේ ජයග්‍රහණ 02 ක් පමණක් සමග ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ 07 වන ස්ථානයේයි. ඒ අනුව ශ්‍රී ලංකාව දැන් තරගාවලියෙන් ඉවත්වීමේ ආසන්නයට පැමිණ තිබෙනවා.

දැන් ඇත්තේ ශ්‍රී ලංකා පිළ ලෝක කුසලානයෙන් ඉවත් වූ බවට නිළ වශයෙන් ප්‍රකාශ කිරීම පමණයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළට නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරඟ දෙකක් ඉතිරිව පවතිනවා.


මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අන්ත පරාජය සම්බන්ධයෙන් කරුණු විමසීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඉන්දියාවේදී ලද පරාජය සම්බන්ධයෙන් පුහුණුකරුවන්ගෙන් හා තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට නියමිතයි.