Friday, January 10, 2025

General line - 0115112241

ක්‍රිකට් පිටිය උණුසුම් කල එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද




මාස එකහමාරක කාලයක් ක්‍රිකට් පිටිය උණුසුම් කල එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද පැවැත්වෙනවා.

ඒ, සත්කාරක ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතරයි.

ඉන්දියාව මේ දක්වා මෙම තරගාවලියේ සහභාගී වූ තරග 10ම ජය ගෙන සිටිනවා.

පළමු තරග දෙක පමණක් පරාජයට පත්වූ ඕස්ට්‍රේලියාව ඉන් පසු පැවති තරග 08ම ජය ගත්තා.

අද තරගය පැවැත්වෙන්නේ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයී.

තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් එක් ලක්ෂ 30,000ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අද තරගයට භාවිත කරන්නේ ලෝක කුසලානයේ මූලික වටයේ ඉන්දු - පකිස්ථාන තරගයට භාවිත කල තණතීරුවයි.

තරගයේ විනිසුරුවන් අතරට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ඇතුලත්ව නැහැ.

2019 වසරේ ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ විනිසුරු ලෙස කටයුතු කලේ කුමාර ධර්මසේනයි.

මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස එංගලන්ත ජාතික විනිසුරුවරුන් දෙපලක් නම් කර තිබෙනවා. 

ක්‍රිකට් ලෝක කුසලාන එක්දින ඉතිහාසයේ අවස්ථා 08කදී ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට පිවිස තිබෙනවා.

ඉන් තරග 05ක්ම ජයගෙන වැඩිම වාර ගණනක් ලෝක ශුරයින් බවට පත්ව ඇත්තේ ඔස්ටේ්‍රලියාවයි. 

ඉන්දියාව අවස්ථා 04කදී අවසන් මහා තරගයට පිවිස ඇති අතර ඔවුන් අවස්ථා දෙකකදී ලෝක ශූරයින් වී තිබෙනවා.

ඒ අනුව අද තරගය ලෝක කුසලාන එක්දින ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම හා වත්මන් එක්දින පිටියේ සාර්ථකම කණ්ඩායම අතර තරගයක් ලෙසටයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලැබූ හා වැඩිම කඩුලු බිද හෙලූ ක්‍රීඩකයින් අතර මෙම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සිටීම හේතුවෙන් අද තරගය අතිශය උණුසුම් වනු ඇති.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.