Thursday, January 9, 2025

General line - 0115112241

කාලගුණයත් යහපත් - ආරක්ෂාවත් උපරිමයි - ලොවක් බලා සිටින ලෝක කුසලානයේ අවසන් ගැටුමට සියල්ල සූදානම්.




ලොව පුරා සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නෙත් හෙලා බලා සිටින එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අවසන් මහා තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

ඒ, සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතරයි.

මෙම තරගය පැවැත්වෙන්නේ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයී.

ලොව පුරා ප්‍රේක්ෂකයින් රූපවාහිනී තිරය ඔස්සේ නැරඹීමට අපේක්ෂාවෙන් සිටින මෙම තරගය සිය නෙතින් දැක ගැනීමට එක් ලක්ෂ 30,000කට ආසන්න ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මකයි.

අවසන් පූර්ව තරගයට එක්වූ කණ්ඩායම් දෙකම අද දිනයේදිත් කිසිදු වෙනසකින් තොරව මෙම තරගයටද එක් වනු ඇති.

අද තරගයට භාවිත කරනු ලබන්නේ මූලික වටයේදී ඉන්දු - පකිස්ථාන තරගය පැවති තණතීරුව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනටමත් තහවුරු කර අවසන්.

එබැවින් ලකුණු 350ක් තරම් විශාල ලකුණු පුවරුවක් අද තරගයේදී අපේක්ෂා නොකලද, එය අඩු ලකුණු සංඛ්‍යාවකින් ලෝක කුසලානයේ ජයග්‍රහණය තීරණය වන තරගයක් නොවනු ඇති බවට ක්‍රීඩා විචාරකයින් පවසනවා.

වර්ෂාවෙන්ද අද තරගයට බාධා එල්ල නොවනු ඇති බවටයි ඉන්දීය කාලගුණ අංශ පවසා ඇත්තේ. 

මෙවර තරගාවලියේදී කණ්ඩායම් දෙකම අවසන් වරට සහභාගී වූ තරග දෙකම ඔවුන් ජයගත්තා.

මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා හා වැඩිම කඩුලු ලාභියා ඉන්දියාව සතු වීමත් ඕස්ට්‍රේලියාව සතුව සමබර කණ්ඩායමක් සිටීමත් අද තරගයේ උණුසුම වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

අද තරගය ඉන්දියාවේ විරාත් කෝලි මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඩේවිඩි වෝනර්, ස්ටීව් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටක් හා ජොස් හේස්ල්වුඩ් යන ක්‍රීඩකයින්ට විශේෂ වනවා.

ඒ, ඔවුන් 06 දෙනාම මීට පෙර ලෝක කුසලාන දිනූ අවසන් මහා තරගයකට ක්‍රීඩා කර තිබීම හේතුවෙන්.

ඕස්ට්‍රේලියාව 06වන වරටත්, ඉන්දියාව තුන්වන වරටත් එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් වීමේ අපේක්ෂාවෙනුයි අද ඔවුන් මෙම තරගයට එක්වන්නේ.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 02ට ආරම්භ වීමට නියමිතයි.