Friday, December 27, 2024

General line - 0115112241

අයර්ලන්තයට එරෙහි විස්සයි විස්ස පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකාවට




පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරඟය ලකුණු 41කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟය පැවැත්වුණේ අමෙරිකාවේ ලෝඩර්හිල්හිදීයි.

කාසිය වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් පමණක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත් වුණා.

ඇන්ජලෝ මැතීව්ස් පන්දු 30කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා.

නායක වනිඳු හසරංග ලකුණු 26යි.

දසුන් ශානක ලකුණු 23ක් සහ පැතුම් නිස්සංක ලකුණු 22ක් රැස්කළා.

කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම ලකුණු 13 බැගින් රැස්කළ අතර සෙසු ක්‍රීඩකයින් සිව්දෙනාට ලකුණු 10 සීමාව පසුකර යාමට අවස්ථාව හිමිවුණේ නැහැ.

පන්දු යැවීමේදී ජෝෂුවා ලිට්ල් සහ බැරී මැකාති කඩුලු දෙක බැගින් දවාගත්තා.

ජයග්‍රාහී ලකුණු 164ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 122ක් පමණයි.

කර්ටිස් කැම්ප්හර් රැස්කළ ලකුණු සංඛ්‍යාව 26ක්.

පන්දු යැවීමේදී දසුන් ශානක කඩුලු 04ක් දවා ගත්තා.

මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 02 බැගින් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ අතර ද එක් කඩුල්ල බැගින් බෙදීගියා.