Wednesday, December 25, 2024

General line - 0115112241

“උරුමය” වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 41,960ක්




“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර රාජධානියට සහල් සැපයු වෙල්ලස්ස 1818 සටනින් පසු විනාශ වී ගිය බවයි. 

පසුව විවිධ ආණ්ඩු යටතේ මෙම පළාත සංවර්ධනය වුවද ජනතාවට ඉඩම් අයිතිය හිමි නොවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  රටට බත සැපයූ ගොවි ජනතාවට කෘතවේදීත්වය පිරිනමින් එම වගකීම වත්මන් රජය යටතේ ඉටු කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ද සඳහන් කළේය.

එසේම උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර  වියළි කලාපයේ  විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් වූ ජනාධිපතිවරයා අනතුරුව එම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහකද නිරත විය.