මාතර නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පවතින් ගැටළු පිළිබඳ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024-12-23 දින පස්වරුවේ මාතර මහ නගර සභාවේදී පැවැත්විණි.
නාගරික වැසියන් කිහිප දෙනෙකු විසින් ගරු ආණ්ඩුකාරතුමන් වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත ඉල්ලීම් කිහිපයක් සැලකිල්ලට ගෙන එතුමන්ගේ උපදෙස් පරිදි නාගරික කොමසාරිස්තුමිය විසින් මෙම අවස්ථාව සංවිධානය කොට තිබිණි.
දැනට නගරයේ ඇති කාණු පද්ධතිවල ජලය නිසි පරිදි බැස නොයාම, අවිධිමත් හා අනවසර ඉදිකිරීම්, අවිධිමත් කසළ බැහැර කිරීම් ආදී ගැටළු රාශියක් පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් හා අන්තර් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සමග සාකච්ඡා කරන ලද අතර, ආණ්ඩුකාරතුමන් විසින් ඔවුන්ට ප්‍රකාශ කර සිටියේ සියළු දෙනා එක්ව ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් සකස් කරන ලෙසයි.
“තමන්ගේ ගැටළු විසඳා ගැනීම සඳහා ජනතාව විසින් එවන ලද ලිපි වලට එම ගැටළුව විසඳීමට පුළුවන්ද බැරිද බැරිනම් එසේ කිරීමට නොහැකි හේතුව හා බාධාව සඳහන් කර එම ගැටළුව යොමු කරන ලද පුරවැසියාට පිළිතුරුක් දන්වා යවන්න කටයුතු කරන්න.
රුහුණු විශ්ව විද්‍යාලය මගින් සකස් කර ඇති නාගරික සැලැස්ම අරගෙන වීදියක් වීදියක් ගානෙ ගිහින් අනවසර හා අවිධිමත් ආකාරයෙන් කරන ලද ඉදිකිරීම් ගැන සොයා බලන්න.
අපේ රටේ අවිධිමත් ඉදිකිරීම් තමයි බොහෝ ගැටළු වලට හේතු වෙලා තියෙන්නෙ. වතු නිවාස වල පවතින නිවාස ප්‍රශ්නයට හොඳම ක්‍රමවේදය .සවි තට්ටු නිවාස ක්‍රමයකට යෑම. ලංකාවේ කිසිම ගඟක රක්ෂිතය මැන මායිම් ගල් දමා ලකුණු කර පෙන්වා නැහැ.
නමුත් ගඟකට රක්ෂිතයක් තිබිය යුතුයි.
මේ ගංගා වල රක්ෂිත ලකුණු කිරීම වසරින් වසර හරි සිදු කර අවසන් කල යුතුයි.
යනුවෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරතුමන් පැවසීය.
මෙම අවස්ථාව සඳහා නාගරික කොමසාරිස්තුමිය, මාතර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, නගර සභාවේ ඉංජිනේරුතුමා ඇතුළු ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.