Tuesday, November 19, 2024

General line - 0115112241

විජේරාම පොහොට්ටු තීන්දුව නාට්‍යයක් බව ප්‍රමිත බණ්ඩාර කියයි




ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සහාය නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ ගත් තීන්දුව දේශපාලන නාට්‍යයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 
පවසනවා 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එක්ව ජයගමු යන තේමාව යටතේ බම්බලපිටිය ලොරිස් මාවතේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් 

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 

“ඊයේ දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය හමුවුණා. 

ඒ දේශපාලන මණ්ඩලය යම්කිසි තීන්දුවක් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ලබාගත්තා කියලා අපිටට දැනගන්න ලැබුණා. 

ඒ පිළිබදව අපි පුදුම වෙන්නේ නැහැ. 

ඒක ඊයේ දේශපාලන මණ්ඩලයේ නාට්‍යයක්. 

සාමාන්‍යයෙන් පොදුජන පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගන්නවා කියලා එකක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ.

මෙම තීන්දුව දේශපාලන මණ්ඩලයට ප්‍රථම නිවසේ ඇතුළේ ගත්ත තීන්දුවක්. 

අපිට මේ පිළිබදව ආරංචි වුනා. 

අපි කවුරුත් ආදරේ කරන ගරු කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙම තීන්දුව ගන්න ප්‍රථම අපි එතුමත් එක්ක ගිය සතියේ බ්‍රහස්පතින්දා සාකච්ඡා කළා. 

පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ගන්න තීන්දුවේ බරපතලකම අපි සාකච්ඡා කළා. 

ඒ වෙලාවේ අපිට දැනුණා, තේරැණා එතුමා ඉන්නේ අපි දරන අදහසේ මතයේ කියන එක. 

ඒ අනුව එතුමා අපේ කණ්ඩායමට කිව්වා එතුමාගේ බලාපොරොත්තුව අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර මේ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වෙන්න. 

මේ සදහා අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ සහභාගී වුනා. 

ඊයේ දිනයේ දී දේශපාලන සංයුතිය පිළිබදව අපිට ප්‍රශ්නයක් තිබෙනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100 ක් පමණ ඉන්න පක්ෂයේ සහභාගී වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් පමණයි. 

පළාත් සභා මන්ත්‍රීවරු 100 කට අධික පිරිසක් ඉන්නවා. 

පැමිණිලා හිටියේ 05 දෙනයි. 

පළාත් පාලන ආයතන නියෝජිතයින් 300 ක් පමණ නියෝජනය කරනවා. 

හැබැයි එතන හිටියේ 05 දෙනයි. ඒ වගේම හිටපු අනික් අය පිළිබදව අපට අවබෝධයක් නෑ. 

ඒ අය කවුද කියලා අපි දන්නේ නෑ. 

අපි අදුරන්නේ නෑ. 

ඒ අය කොහොම එතනට ආවද කියන එක අපිට ප්‍රශ්නයක්. 

ඊයේ ගත්ත දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සම කරන්න වෙන්නේ 2022 මැයි 09 වෙනිදා කොළඹට සෙනග ගෙනල්ලා අරගලයට ගහන්න ගත්ත තීන්දු හා සමානවයි. 

එම තීන්දුව ගන්නේ මහපොළොව පිළිබදව දැනුමක්, අවබෝධයක්, සංවේදීත්වයක් නොමැතිව. 

ඒ වගේම එම තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, ව්‍යවසනකාරී තීන්දුවක් විදියට අපි කල්පනා කරනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්තම ශක්තිය ගමේ ඉන්න පාක්ෂිකයා. 

ඔවුන්ව අවධානමට ලක් කරනවා. 

මැයි 09 වෙනිදා මේ ආකාරයට තීන්දුවක් මේ විදියටම ගත්තා. 

ඒ තීන්දුවෙන් අපහසුතාවට ලක් උනේ අපේ පාක්ෂිකයෝ. අපේ පාක්ෂිකයන්ට ගහලා, රෙදි ගලවලා බේරේ වැවේ ඔබන තත්ත්වයට පත් වුනා. 

ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංතා පොදුජන පෙරමුණට විකල්පය වුනේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. 

දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තත්ත්වය තමයි රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොගැලපෙන එක. 

මේ නොගැලපීම තේරුම් ගන්න අවුරුදු 02 කට වැඩි කාලයක් යෑම පිළිබදව අපි කණගාටු වෙනවා. ඒ වෙද්දි ගැලපුණ දැන් නොගැලපෙන හදහන මොකද්ද කියලා අපි ප්‍රශ්න කරනවා. 

ඒ නිසාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අති බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අද සවස 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවන්න තීරණය කරලා තියෙන්නේ. 

ඒ අනුව ජනාධිපතිතුමාට සහාය පළ කරන්න අපේ කණ්ඩායම දැනටත් තීරණය කරලා තියෙනවා. 

අද උදෑසන එස්.එම් චන්ද්‍රසේන ඇමතිතුමා, ශෙහාන් සේමසිංහ ඇමතිතුමා අනුරාධපුරයේ බලමණ්ඩලය කැදෙව්වා. 

ඒ බලමණ්ඩලයේ දී පාක්ෂිකයන්ගෙන් ඇහුවා මොකද්ද තීන්දුව කියලා. පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියන මතයට දෙදෙනෙක් විතරයි කැමැත්ත පළ කළේ. 

ඒ නිසා අපි මහපොළොව කියවගන්න, තේරුම්ගන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. 

ඒ වගේම මේ තීරණය අතිබහුතරයක් දෙනා ගන්නේ ඉතාම වැදගත් තීරණාත්මක මොහොතක. 

රටේ අත්පත් කරගෙන තියෙන ස්ථාවරය අපිට මොන ආකාරයෙන්වත් අඩාල කරන්න ආපස්සට හරවන්න කිසිම අයිතියක් අපේක්ෂාවක් නෑ. 

අපිට මෙම කාරණාවේදී රට ඉස්සරහට දාන්න අපිට සිද්ධ වෙනවා.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට පළමුව රටේ අනාගතයට ප්‍රථම රටේ මහජනතාවට ප්‍රථම ඒ වගේම පාක්ෂිකයාට ප්‍රථම පුද්ගලික න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් අපි කණගාටුව ප්‍රකාශ කරනවා. 

ඒ වගේම අපි ඉල්ලා සිටිනවා අපේ පාක්ෂිකයන්ගෙන් අපි වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ජනතාවට අස්වැසිල්ලක් තිබ්බ පීඩාව දුරු කරන්න අපිට අවස්ථාව ලැබුණා. 

අපි පහුගිය කාලේ පුරාවට වැඩ කළේ අපේ දේශපාලන අනාගතය ගැන හිතන්නෙ නැතුව. ඊළග සැරේ මන්ත්‍රී වෙන්නෙ කොහොමද කියලා හිතන්නේ නැතුව. දැඩි තීන්දු අපිට ගන්න උනා. සමහරු තීන්දු පීඩාකාරී උනා. 

නමුත් එවැනි තීන්දු නොගෙන මේ රට ආපස්සට හරවන්න, ඒ තිබුණූ ආර්ථික දුෂ්කරතාවට හරවන්න උවමනාවක් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට තිබුණේ නෑ. 

ඒ නිසාම අපිට අද තිබෙන ස්ථාවරය ළගාකරගන්න අපිට හැකියාව ලැබුණා. 

ඒ නිසාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ වගේම තරුණ දේශපාලන ධාරාවේ උඩ ඉදලා පහළට ඉන්න නායකයන් සියලුදෙනාම ජනාධිපතිතුමාට එකතු වෙන්න තීරණය කළා. 

ඒ අනුව හෙට දවසේ පළාත් සභා මන්ත්‍රීවරු සමග එක්ව සාකච්ඡා කරන්නත් ඉදිරි දිනවල නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය බලමණ්ඩලවල සාමාජික සාමාජිකාවන්ටත් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”