Monday, December 23, 2024

General line - 0115112241

රවී, නාමල් සහ සත්තිලිංගම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක්




පක්ෂ 03 කට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා පත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පද්මනාදන් සත්‍යලිංගම් මහතා පත් කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 02 ක්. එම එක් මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින්.

කෙසේ වෙතත් රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල කිසිදු අනුමැතියකින් තොරව බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නියෝජිතයන්ට දැනුම්දී තිබෙනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02 සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ ඊයේ පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබුණා. 

එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද අදහස් පළ කළා.

 

අති විශේෂ ගැසට් නිවේදනය පහතින්