Tuesday, November 19, 2024

General line - 0115112241

ශ්‍රිලනිපයේ පිරිසක් ඉවත් කිරීම වැලැක්වූ වාරණය දීර්ඝ කෙරේ

උදය කුමාර




මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින්  එම පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළා.

මෙම නඩුව අද යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝග නිකුත් කළා.

ඒ අනුව අදාළ වාරණ නියෝග ඔක්තෝබර් මස 09 වනදා දක්වා දීර්ඝ කිරීමටද එහිදී නියෝග කෙරුණා.

පෙත්සම්කාර ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලින් අත්තනෝමතික ආකාරයට තමන් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

එම තීරණ බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩු ගොනුකර තිබෙනවා.