Wednesday, December 25, 2024

General line - 0115112241

තුන්වන වරටත් එකම වරද කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාවට තරඟාවලියම දිනා දෙයි




ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයද ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, තරඟාවලියම තුනට බින්දුවක් ලෙස ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ ලකුණු 137කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 28කට කඩුලු තුනක් බිඳ හෙළුවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කරගත හැකි වූයේද ලකුණු 137ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 26යි. කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් රැස් කළා.

පන්දුවාර 15යි එක් පන්දුවක් අවසන් වන විට එක් කඩුල්ලකට ලකුණු 110ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක පසුවුණා.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 07 ලකුණු 22ක් තුළ බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය ඈතට ගියා. 

අවසන් පන්දුවාර 02දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය ජය ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 12ක් පමණයි.

තීරණාත්මක 19වන පන්දුවාරය ක්‍රියාත්මක කළේ පන්දුවාර විස්සයි විස්ස පිටියේ පන්දු යැවීමේ අත්දැකීම් ඉතා අඩු නවක ක්‍රීඩක රින්කු සිං විසින්.

ඔහුගේ පන්දු වාරයට ලකුණු 03ක් පමණක් රැස් කළ ශ්‍රී ලංකාව කඩුලු 02ක් ඉන්දියාවට පූජා කළා.

අවසන් පන්දු වාරයට ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය වූයේ තවත් ලකුණු 06ක් පමණයි.

ශ්‍රී ලංකාවට සරදමක් කරන්නාක් මෙන් තීරණාත්මක 20වන පන්දුවාරය ක්‍රියාත්මක කළේ පන්දුවාර විස්සයි විස්ස පිටියේ පන්දු යැවීමේ අත්දැකීම් ඉතා අඩු, ප්‍රබල පිතිකරුවෙකු ලෙස නම් දැරූ, නායක සූර්ය කුමාර් යාදෙව් විසින්.

ඔහුගේ පන්දු වාරයට ලකුණු 05ක් පමණක් රැස් කළ ශ්‍රී ලංකාව තවත් කඩුලු 02ක් ඉන්දියාවට පූජා කිරීමත් සමග තරඟය අවසන් වුණේ ලකුණු සම වීමෙන්.

ඉන් අනතුරුව තරඟයේ ජය තීරණය කිරීමට සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කළා. 

සුපිරි පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 02ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 02ක් පමණයි.

ඉන්දියාව එක් පන්දුවකින් එම ඉලක්කය පසු කර ගියා.

ඉන්දියාව සමග පැවති පන්දුවාර 20 තරඟ 03දීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම දුර්වලතාව වූයේ මැද පෙළයි.

පළමු තරඟයේදී ලකුණු 12කට අවසන් කඩුලු 07ද, දෙවන තරඟයේදී ලකුණු 31කට අවසන් කඩුලු 07ද, ඊයේ තරඟයේදී ලකුණු 22කට අවසන් කඩුලු 07ද දැවී ගියා.