Tuesday, December 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු අතරට ආ හැටි වෙල්ලාලගේ හෙළි කරයි




විශේෂ සැලසුමකට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීම හේතුවෙන් ඉන්දියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී ලකුණු 230ක් රැස් කිරීමට හැකි වූ බව තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසනවා.

ඒ අනුව තමන්ද පිටියට පිවිසියේ විශේෂ සැලසුමකට අනුව බවයි ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ. 

දෙරට අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති තරඟය නිමාවට පත් වුණේ ජය පැරදුමකින් තොරවයි.

ඒ, කණ්ඩායම් දෙකම ලකුණු 230 බැගින් රැස් කිරීම හේතුවෙන්. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් රැස් කළා.

එහිදී සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67ක්. 

ජයග්‍රාහී ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ ලකුණු 230කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ නායක චරිත් අසලංක කඩුලු 03 බැගින් බිඳ හෙළුවා.

දුනිත් වෙල්ලාලගේ කඩුලු දෙකක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ අකිල ධනංජය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

නොදැවී ලකුණු 67ක් රැස් කළ සහ ප්‍රතිවාදී කඩුලු දෙකක් බිඳ හෙලූ දුනිත් වෙල්ලාලගේ තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. 

දෙරට අතර දෙවන එක් දින ක්‍රිකට් තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව හෙට පස්වරු 02යි 30ට එම තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.