ආර්ථික අර්බුධය නිසා රටේ තරුණ පරපුර සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණ බවත් රට නව දිශානතියකට රැගෙන යාමේදී තරුණ ප්‍රජාවේ අදහස් හා යෝජනා අනිවාර්ය වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
රට බංකොලොත්වෙලා වසර දෙකක කාල සීමාව තුළදී අවුරුදු 42 ක පාර්ලිමේන්තුවේ පළපුරුද්දක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතා නිසා මේ තරම් ඉක්මනට රට යථාතත්ත්වය ගන්න හැකිවුණ බවත් තවමත් එම කාර්ය අවසන් වී නොමැති බවද වජිර අබේවර්ධනපවසා සිටියා
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (04) ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති තරුණ සමුළුව හා කාන්තා සමුළුව අමතමින්
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එහිදී පවසා සිටියේ මෙවැන්නක්
" අපි අද ආරම්භ කර තිබෙන තරුණ එකමුතුව හරහා අපේ තරුණ ව්‍යාපාරයේ ඉන්න සියලුදෙනා මුණ ගැහිලා දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් ආගමික වශයෙන් ඔවුන් සන්නද්ධ කළ යුත්තේ කෙසේද කියලා කතිකා කරගත්තා.
මේ රටේ පහුගිය අවුරුදුවල තිබුණු ආර්ථික අර්බුධය නිසා අපේ රටේ තරුණ පරපුර සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා.
ඇතැම් තරුණයන් මේ රට අත හැරියා.
නමුත් තවදුරටත් එය එසේ විය නොහැකියි.
අපි මේ රට නව දිශානතියකට අරගෙන යා යුතුව තිබෙනවා.
එයට තරුණ ප්‍රජාවේ අදහස් හා යෝජනා අනිවාර්යයි.
මේ රට බංකොලොත්වෙලා වසර දෙකක කාල සීමාව තුළදී අවුරුදු 42 ක පාර්ලිමේන්තුවේ පළපුරුද්දක් තිබුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා මේ තරම් ඉක්මනට රට යථාතත්ත්වය ගන්න හැකිවුණා.
නමුත් තවමත් වැඩේ අවසන් නැහැ.
මේ ගැන ශ්‍රී ලාංකික මහජනතාව බොහෝම අවබෝධයෙන් බැලිය යුතුව තිබෙනවා.
ඒ නිසා ලංකාවේ තිබෙන සියලු දේශපාලන පක්ෂ මේ රට ගෙනියන්නේ කොහෙටද කියලා කල්පනා කර බැලිය යුතුව තිබෙනවා.
දේශපාලන පක්ෂ හිතුමතේට බොරු කියන එක නැවැත්විය යුතුව තිබෙනවා.
රටේත් මහජනතාවගේත් ආරක්ෂාව සඳහා දේශපාලන පක්ෂ හා ඒවායේ නියෝජිතයින් සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වෙලා කටයුතු කළ යුතුයි.
අද සමහර අය කියනවා ජනාධිපතිතුමා පක්ෂ කඩනවා කියලා. නමුත් ජනාධිපතිතුමා මේ රට බාරගත්තේම ඔය කියන පක්ෂ කැඩිලා තිබුණ අවස්ථාවක.
රට බාරගත්තට පස්සේත් එතුමා කිව්වේ කඩා වැටුණු පක්ෂ ශක්තිමත් කරන්න, තම තමන්ගේ වෙනස්කම් එසේම තබා ගනිමින් රට නැමැති න්‍යාය පත්‍රයට හානි නොකර රටේ ජාතික ප්‍රතිපත්ති රාමුව සමග එකට වැඩ කරමු කියලා.
ඒ නිසා තමයි මෙවෙර ජනාධිපතිවරණයට ජනාධිපතිතුමා ස්වාධීනව ඉදිරිපත් වෙලා තිබෙන්නේ සියලු බලවේගවලට එකට වැඩකරන්න පුලුවන් අවස්ථාවක් හදලා දෙන්න.
ප්රජාතන්ත්රවාදී සමාජයක විශේෂයෙන් ප්‍රසාදය තියෙන සහ ප්‍රසාදය නැති සියලුදෙනාටම ඡන්ද අයිතිය තිබෙනවා.
එවැනි අවස්ථාවක ප්‍රසාදය තිබෙන අයත් නැති අයත් සියදුදෙනා ඡන්ද දායකයෝ ඒ ඡන්ද දායකයින්ට වරදක් සිදුවී ඇතිනම් නිවැරදි වීමේ අයිතියකුත් තිබෙනවා.
ඒ අයට බාධායක් ඇති වෙන්නේ නැහැ.
සියලු ජනකොටස්වලට ස්වාධීනව තරඟ කරන්න ආරම්භ කරපු ව්‍යාපාරක් තිබෙනවා. රටක් බංකොලොත් වුණාම ජාතික වශයෙන් ආරම්භ කරපු ව්‍යාපාරයට හානියක් නොවන්න සියලු දේශපාලන පක්ෂ වග බලා ගත යුතුයි.
යම් කන්ඩායමක් මේ රටේ ඒ ආරම්භ කළ ව්‍යාපාරයට හානියක් සිදුකළොත් ඒ හානිය කරන කන්ඩායම ඇතිවන හතරවන සිවිල් යුද්ධයේ වගකීම බාරගත යුතුයි.
මේ රට ආර්ථික වශයෙන් යටත් විජිතයක් බවට පත්වුණොත් එහි වගකීම අනිවාර්යයෙන්ම ඒ අය බාරගත යුතුයි. එයින් පැනලා යන්න බැහැ.
අපිට පළවෙනියටම වැදගත් වෙන්නේ අපේ රට. පහුගිය සිවිල් යුද්ධයේදී එය මහජනතාව තේරුම් කරලා දුන්නා.
දේශපාලන පක්ෂ කියන එක වැදගත් නැහැ.
ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ නැමැති මේ යුගයේ පහළ වුණු ජාතික නායකයා ස්වාධීනව තරඟ කරන්නේ.
සියලුදෙනා ඒකරාශි කරගෙන ඉදිරියට යාම තුළින් පමණයි මේ රටේ සිටින තරුණ පරම්පරාවට අනාගතයක් තිබෙන්නේ.
සාමාන්‍යයෙන් රටක් වැටෙනකොට විරුද්ධ පක්ෂය සූදානමින් ඉන්න ඕන ඒ වැටෙන රට බාරගන්න.
නමුත් අවාසනාවකට අපේ රටේ විරුද්ධ පක්ෂය හැංගුණා. අපේ රටේ විරුද්ධ පක්ෂය රෝහල් ගත වුණා.
අපේ රටේ විරුද්ධ පක්ෂය රටේ වගකීම බාරගත්තේ නැහැ.
දැන් ඒ වගකීම බාරගෙන ඒ පාර හදලා දුන්නම පාරට පැනලා මට පුලුවන් කියලා ප්‍රකාශ කරලා, රට නැවත වරක් ජාතික වශයෙන් අමාරුවේ දාන්න අපිට ඉඩ දෙන්න බැහැ.
අපේ යුතුකම තමයි නිවැරදි මාර්ගයේ ශ්‍රී ලංකාව ගෙනයාම."