මස්කෙලිය ප්රාදේශිය සභාව අසල ගාල් කර තිබියදී සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් තිබූ වෑන් රථයක් වව්නියාව, මල්ලාවි ප්රදේශයේ නිවසක සගවා තිබියදි සොයාගෙන තිබෙනවා.
ඒ, හැටන් පොලිස් ස්ථානයේ කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්. මස්කෙලිය ප්රදේශයේ පිහිටි නිවසකට ඥාතීන් පිරිසක් රැගෙන එම වෑන් රථය පසුගිය 08 වනදා පැමිණ තිබුණා.
එම වෑන් රථය එදින රාත්රියේ මස්කෙලිය ප්රාදේශීය සභාව ඉදිරිපිට ගාල් කර තිබියදි අතුරුදන්ව ඇති බවයි වෑන් රථයේ හිමිකරු පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරින් වෑන් රථය සොරාගත් රත්නපුර ප්රදේශයේ පදිංචි ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වෑන් රථය කැබලි කර විකිණිමට හෝ වෑන් රථය විකිණිම සඳහා එය වව්නියාව මල්ලාවි ප්රදේශයට රැගෙන ගොස් නිවසක සගවා ඇති බවට සිදුකල විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව මල්ලාවි ප්රදේශයට ගිය හැටන් පොලිස් ස්ථානයේ නිලධාරින් වෑන් රථය සිය භාරයට ගෙන ඇති අතර සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.